ඉන්දියාවේ උතුරු ප්‍රාන්තයේ කනවුජ් දිස්ත්‍රික්කයේ මාර්ගයක ගමන්ගත් බස් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙක ගැටී ගිනිගැනීම හේතුවෙන් 20දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
 
බස් රථයේ 46දෙනකු ගමන් කර ඇති අතර ඉන් 25දෙනකු බේරාගෙන රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
 
රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇති බවත් බස් රථය ෆරුක්කාබාද් සිට ජායිපූර් බලා ගමන් කරමින් තිබියදී ඩේවර් මාජ් ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බවත් සඳහන් වේ.

ගිනි නිවන රථ තුනක් අනතුර වූ ස්ථානයට කැඳවා ඇති අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ඔවුන්ට විනාඩි 40ක පමණ කාලයක් ගතවී ඇතැයි පොලිසිය වැඩිදුරටත් පවසයි. 
 
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය මගීන්ගෙන් පිරී තිබුණු බවත් ඔවුන් නින්දේ පසුවූ බැවින් ගින්නෙන් බේරීමට නොහැකිවී ඇති බවත් පැවසේ. එම අවස්ථාවේ රථයේ කවුළු  සියල්ල ද වසා තිබී ඇත.
 
මියගිය අයගේ සිරුරු දැඩිලෙස පිළිස්සී ඇති හෙයින් ඔවුන් හඳුනාගැනීම පවා අසීරු වී ඇති බවත් ඒ සඳහා ඩීඑන්ඒ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවත් අධිකරණ වෛද්‍යවරු පවසති.
 
සිද්ධිය සම්බන්ව ඉන්දීය පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.
 
(ඉන්ඩියා ටුඩේ ඇසුරිණි - 085)