පවතින උෂ්ණාධික කාලගුණය හමුවේ එළිමහනේ ආහාර පීසීමේ සහ වෙනත් ගිනි දැල්වීම් කටයුතු වල නිරතවීමෙන් වළකින ලෙස ඉන්දියා බලධරයින් එරට ප‍්‍රාන්ත කිිහිපයක ජනතාවට දැනුම්දී තිබේ.

පරිසරයේ තිබෙන වියළි ස්වභාවය නිසා හදිසි ගිනි ගැනීම් වළක්වාගැනීම මෙහි අරමුණයි.

පසුගියදා ඇතිවූ මෙවැනි ගින්නකින් තාවකාලිකව නිමවා තිබූ නිවාස රැසක් විනාශවූ අතර වාර්තා වුනු ජීවිත හානි සංඛයාව 80 කට ආසන්න විය.

අධික උෂ්ණත්වය නිසා මේ වන විට ඉන්දියාවේ 300 කට ආසන්න පිරිසක් මියගොස් ඇත.ජූනි මාසය වන තෙක්ම වැසි අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් පවතින හෙයින් මැයි මාසයේදී තත්ත්වය තවත් බරපතල වනු ඇතැයි ඉන්දියා කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පලකර තිබේ.

අධික උෂ්ණත්වය නිසා හටගත් රෝගාබාධයන්ට ගොදුරුව ඉන්දියාවේ පසුගිය වසරේ පමණක් මියගිය සංඛයාව 2500 කට ආසන්නය.

රටේ ජල සම්පත සියයට 22 ක මට්ටමට පහත වැටී තිබෙන අතර භෝග වගාවන් සැළකිය යුතු ප‍්‍රමාණයක්ද විනාශව ඇත.

මේ හේතුවෙන් රැකියා සොයා ගොවියන් ගමේ සිට නගරය බලා සංක‍්‍රමණය වෙමින් පවතින තත්ත්වයක්ද හදුනාගත හැකිය.

අන්ද්‍රා වැනි ප‍්‍රාන්ත වල සාමාන්‍ය උෂ්ණත්වය පවතින්නේ සෙල්සියස් අංශක 44 ක් වැනි අගයකය.