ඉන්දියාව, ඇමෙරිකා එක්සත් ජනපදයට හොඳින් සැලකුවේ නැති වුවත් තමන් අග්‍රාමාත්‍ය මෝදිට විශේෂ කැමැත්තක් දක්වන්නේ යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සතියේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය. හෙතෙම ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ පළමු වරටය.
මේ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා පෙබරවාරි 24 සහ 25 ඉන්දියාවේ සංචාරය කරන අතර එහිදි ද්විපාර්ශ්වීය වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන ඉන්දියාව ආසියාවේ න්‍යෂ්ටික බලවතුන් දෙදෙනාගෙන් කෙනෙකි.
‘‘අපිට ඉන්දියාව සමඟ වෙළෙඳ ගිවිසුමකට එක්වෙන්න පුළුවන්. එහෙත් මං විශාලතම ගිවිසුම පස්සට තියාගන්නවා’’ යැයි කැලිෆෝනියාවේ සංචාරයක නිරත වීමට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවැසීය.
වෙළෙඳාම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක කරුණු හේතුවෙන් පසුගිය කාලයේදී ඉන්දු-ඇමෙරිකා සබඳතා පළුදු විය.
ඇමෙරිකා එක්සත් ජනපදය සංවර්ධනය වෙමින් පවතින රටවලට තීරුබදු සහන ලබා දෙන අතර එම වැඩසටහන යටතේ ඉන්දීය අපනයනවලට ද බදු සහන ලබා දී තිබිණි. එම වැඩසටහනෙන් ඉන්දියාව ඉවත් කිරීමට ජනාධිපති ට්‍රම්ප් පසුගිය වසරේදී පියවර ගත්තේය.
එයින් පසු දෙරටේ බලධාරීහු මධ්‍යස්ථ වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට දැඩි වෙහෙසක් ගත්හ. ඉන්දියාවට බදු සහන ලබාදීමට නම් ඉන්දියාව ඔවුන්ගේ වෙළෙඳපොළ ඇමෙරිකානු කෘෂිකාර්මික නිෂ්පාදන සහ වෛද්‍ය උපකරණවලට විවෘත කළ යැයි ඇමෙරිකාව අවධාරණය කළේය.
පසුගිය දින කිහිපයේ පැවැති සාකච්ඡා ප්‍රගතියක් පෙන්නුම් කරන බවත් ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් සාකච්ඡාවලට සම්බන්ධ පිරිස් කීහ.
ඇමෙරිකාවේ වෙළෙඳ නියෝජිත රොබට් ලයිතයිසර් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබූ අතර එහෙත් පසුගිය සතියේදී එම සංචාරය අවලංගු කෙරුණි. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පසුගිය සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාවේ සංචාරය කළ අතර එම සංචාරයට ද පෙර මේ අයුරින් ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතව තිබී එය අවලංගු කෙරුණි.
කෙසේ නමුත් ඉන්දියාව සමඟ ගිවිසුමකට එළැඹීමට සූදානම් වන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය.
‘‘ඉන්දියාව සමඟ විශාල වෙළෙඳ ගිවිසුමකට එළැඹෙනවා. එත් ඒක ජනාධිපතිවරණයට කලින් පුළුවන් වේවිද කියලා මං දන්නේ නැහැ’’ යැයි ට්‍රම්ප් ඊයේ (18) පැවැසීය.
‘‘ඉන්දියාව අපට හොඳින් සැලකුවේ නැහැ. ඒත් මං අගමැති මෝදිට ගොඩක් කැමැතියි’’ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදි කීවේය.
එන්.ඩී.ටීවී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටර් කවන්නයි වගේ හදන්නේ. ඉන්දියාවේ භාවිතා කරන්නේ "ගී" කියලා පොඩ්ඩක් මතක් කරොත් හොඳයි.
ඉන්දියාව ලංකාවට පෙනෙන්න අකමැති බව පෙන්නුවට. මෙරට ඉන්න ඉන්දියානුවන් ට්‍රම්ප්ට හරි කැමතියි.