නීතිවිරෝධී සංක්‍රමණිකයින් සඳහා දැවැන්ත රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ඉන්දියාව පියවර ගෙන ඇතැයි සඳහන් වේ.

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ඉදිවන මෙම මධ්‍යස්ථානයේ රැඳවියන් 3000කට පමණ ඉඩ පහසුකම් සහිතව සකස් කරන බවත් එය පාසලක්, රෝහලක්, විනෝද ස්ථානයක් ඇතුළු බොහෝ පහසුකම් වලින් සමන්විත වන බවත් බලධාරීහු පවසති.

මධ්‍යස්ථානයේ ආරක්ෂාව තර කිරීම සඳහා දැවැන්ත තාප්පයක් ඉදිකිරීමට නියමිතව ඇති අතර ආරක්ෂක අංශ සඳහා නිවාස ද ඉදිවනු ඇත.

පසුගිය සතියේ ප්‍රකාශයට පත්කළ පුරවැසි නාම ලේඛනයේ නම් සඳහන් නොවන බොහෝ දෙනෙකු මෙම මධ්‍යස්ථානයේ රඳවා තබාගැනීමට නියමිත බව අසාම් ප්‍රාන්ත බලධාරීන් සඳහන් කරයි.

ආසන්න බංගලාදේශයේ සිට පැමිණි සිය දහස් ගණන් නීතිවිරෝධී සංක්‍රමණිකයින් ආසම් ප්‍රාන්තයේ සිටින බව බලධාරීහු පවසති. මොවුන් බහුතරය මුස්ලිම් ජාතිකයෝ වෙති.

ගෝල්පාරා නගරය ආසන්නයේ ඉදිවන්නේ අසාම් ප්‍රාන්තයේ ප්‍රථම රැඳවුම් මධ්‍යස්ථානය බව මාධ්‍ය වාර්තා කරයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)