ආණ්ඩු පක්ෂයෙන් දිගින් දිගටම එල්ල වන විරෝධය හමුවේ ඉන්දියා මහා බැංකු අධිපති රගුරාම් රාජන් තම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ පළමු ධුර කාලය අවසන් වූ විට දෙවන ධුර කාලය සදහා අත්සන් නොකර සිටීමට ඔහු තීරණය කර ඇතැයි සඳහන්ය.

රාජ්‍ය  බැංකු ණය වලින් නිදහස් කොට ඉන්දියාවේ උද්දමනය පහත හෙලුවේයැයි ඔහු ඉතාමත් ප්‍රසිද්ධියට පත් වී සිටියේය.

ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් සමග ඇති වූ ආරවුලක් දුර දිග යාමත් සමග මෙම තත්වය ඇති විය. ඔහුගේ මුල් ධුර කාලයේ වසර තුන සැප්තැම්බර් මස නිම වනු ඇත. 2008 මූල්‍ය අර්බුදය පිළිබද අනාවැකි පල කළ ඔහු ඉන්දියාවේ ආර්ථිකය ඉහල නැංවීමට ක්‍රි කළ අය අතර මුල්පෙළ ස්ථානයක සිටින ඔහු මුල්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිතයකි.

ඉන්දියාවේ ආර්ථිකය මේ වන විට ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත් වී තිබේ. කෙසේ වෙතත් ඉන්දියාවේ පොලි අනුපාතය ඉහළ මට්ටමක තබාගැනීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල වේ. එමෙන්ම ඔහු කෙමෙන් කෙමෙන් දේශපාලනයට ප්‍රවිෂ්ට වන බවට ඇතැම්හු චෝදනා කරති.

ඔහුගේ ඉවත් වීම ප්‍රකාශයට පත් කළ පසු ලොව පුරා ආර්ථික විශ්ලේෂකයන් මෙන්ම ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත ද කැළඹීමකට පත් ව තිබෙන බවට සදහන් වේ.  එමෙන්ම එරට වසර විසි හතරකට පසු මහ බැංකු අධිපතිවරයකු තම ප්‍රථම නිල කාලයෙන් විශ්‍රාම යන ප්‍රථම අවස්ථාව මෙය වන බවට මාධ්‍ය වාර්තා කරයි.

ලංකාවේ මහ බැංකු අධිපති ගැන ද මේ වන විට කතිකාවක් ගොඩ නැගී තිබේ. බැඳුම්කර නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදු වූ බව කියමින් ඔහුගේ සේවා කාලය දීර්ග නොකරන ලෙස සිවිල් සංවිධාන නියෝජිතයෝ රජයට බල කරති. ඉන්දියාවේ සිදුවීම ලංකාවට හොඳ ආදර්ශයන් වනු ඇතැයි විචාරකයෝ පවසති.