ඉන්දියාවේ නිශ්පාදිත මාලා නාටක සහ චිත‍්‍රපට ආදී සියලූ විනෝදාස්වාද වැඩසටහන් ප‍්‍රදර්ශනය කිරීම හා විකාශනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට පකිස්තානය කටයුතු කර තිබේ.

මෙම තහනමට හේතුවී තිබෙන්නේ දෙරට අතර උත්සන්න වෙමින් පැවතෙන විරසකයයි.පකිස්තානය සහ ඉන්දියාවේ දේශසීමා විහිද තිබෙන කාෂ්මිීරයේ, ඉන්දියාවට අයත් පෙදෙසේ ඇතිවූ විරෝධතා ව්‍යාපාර කිහිපයක් දැඩිව මර්දනය කිරීමට ඉන්දියාව පියවර ගැනීමත්, පසුව කැරලිකරුවන් පිරිසක් කාෂ්මිීරයේ ඉන්දියා හමුදාවට අයත් කඳවුරකට පහරදී එහි සිටි හමුදා භටයින් 18 දෙනෙකු ඝාතනය කිරීමත් හා දෙරට අතර විරසකය එළිපිටම ඇවිලෙන්නට ගත්තේය.

මේ දිනවල එකට එක කිරීමේ න්‍යායකින් දෙරට කටයුතු කරනු දැකගත හැකිය.ඒ අතර පකිස්තාන සහ ඉන්දියා නායකයෝ එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින්ද සිටින්නෝය.

ඉන්දියා වැඩසටහන් තහනම් කිරීමට පියවර ගැනීමත් සමග පකිස්තාන සාමාන්‍ය ජනතාවගේ දැඩි විරෝධය ඒ කෙරෙහි එල්ලවී තිබේ.

පකිස්තානයට පාඩමක් ලෙස එරට නලූ නිිලියන්ට බොලිවුඩය තහනම් කලාපයක් බවට පත්කළ යුතුයැයි ඉන්දියාවෙන් යෝජනා මතුවූ විට, පකිස්තාන සිනමා ක්ෂේත‍්‍රය ඊට පිළිතුර දුන්නේ ඉන්දියා සිනමාපට පකිස්තානයේ ප‍්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවමිනි.

කාෂ්මිීරයේ අයිතිවාසිකම් මුල් කරගෙන දෙරට ගැටුම් වල පැටලෙමින් සිටින්නේ දශක ගණනාවක සිටය.