ඉන්දු කාශ්මීරයේ හින්දු කෝවිලක බැතිමතුන් අතරේ සිදුවුණු තෙරපීමකින් 12 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් අල් ජසීරා පුවත් සේවය පවසයි.

තෙරපීම සිදුවුණු බව පැවැසෙන්නේ ඉන්දියානු පාලන යටතේ පවතින කාශ්මීරයේ කදු මුදුනක පිහිටි 'මාතා වෛෂ්නෝ දේවි' කෝවිලේ යැයි පැවැසෙයි. උතුරු දිග ඉන්දියාවේ ප්‍රකට හින්දු කෝවිලක් ලෙස මෙය සැලකෙයි.

තෙරපීම සිදුවූයේ නව අවුරුදු උදාව වෙනුවෙන් පැවැති පූජාවක් අතරතුරේය. දස දහස් ගණනක් බැතිමතුන් එම අවස්ථාවේදී කෝවිල භූමියට රැස්ව සිටි බව ද පැවැසෙයි. තෙරපීම සිදුවී ඇත්තේ අද (1) අලුයම 2.45 ට පමණය.

සිද්ධිය සැලවීමෙන් තමන් මහත් සේ කම්පාවට පත්වුණු බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ට්විටර් පණිවුඩයකින් දැනුම් දුන්නේය. බැතිමතුන්ගේ ජීවිත අහිමිවීම ඉතාමත් කනගාටුවට කරුණක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ට්විටර් ගිණුම හරහා පැවැසීය.

(අල් ජසීරා)