මාස ගණනාවක් ඉඩෝරයෙන් පීඩා විදි ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ඩිබ්රුගාර් ගම්මානයේ වැසියෝ වැසි දෙවියන් පිනවා වැස්ස ලබාගැනීමට ගෙඹි විවාහ උත්සවයක් සංවිධානය කළහ.

මනාල ගෙම්බා ඩිබ්රුගාර් ගමෙනි.මනාලිය වූ ගෙම්බිය යාබද ගමකින් කැන්දාගත්තියක් වූවාය.

සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ගෙම්බා හා ගෙම්බිය විවාහ කැරිණි.ගෙම්බියගේ ගෙලට රන් මාලයක්ද පැළැදවිනි.

නව යුවළට නිවහන ලෙස ගමෙහි වූ පොකුණක් සපයා තිබුණි.

උත්සවයට දහසක් පමණ දෙනා සහභාගීව සිටියහ.මනාල යුවළගේ නෑදෑයෝනම් ඔවුන් අතර නොවූහ.

විවාහය අවසානයේ ප්‍රීති ඝෝෂා නැගූ ඔවුහු වැස්ස ලබාදෙන්නැයි වැසි දෙවියන් යැද්දාහ.

ගම්පති පැවසූයේ මෙසේ ගෙඹි විවාහයක් සිදුකළේ වැස්ස වෙනුවෙන් අන් කිසි දෙයක් කිරීමට ඉතිරිව නොතිබුණු නිසා බවයි.මාස ගණනක් වැස්ස නැති කම නිසා තම ගම්මානයේත් යාබද ගම්මාන වලත් ජනයා දැඩි සේ පීඩා විදිමින් සිටින බව ඔහු කීය.

ගෙඹි විවාහයකින් වැසි දෙවියන් පිනවීමට හැකියැයි මෙම ප්‍රදේශයේ වැසියන් අතර විශ්වාසයක් තිඛෙන්නේයැයි ඔහු පැවසීය.

ගම්වැසියන්ගේ ක්‍රියාවෙන් වැසි දෙවියන් සතුටට පත්ව ඇති බවක් පෙනෙන්නට තිබුණේ පසුදින උදයේ සිටම ප්‍රදේශයට වැසි ඇදහැලෙන්නට පටන් ගැනීම නිසාය.