බීජිංහිදීය (ඒ.එෆ්.පී)
 
ලොව වැඩිම ජනගහනයකට හිමිකම් කියන රට වන චීනය එරට එක්දරු උපත් ප්‍රතිපත්තිය ඉවත් කරමින් යුවලවලට දරුවන් දෙදෙනකු හැදීමට අවසර දුන්නද ඉකුත් වසරේදී එරට උපත් සංඛ්‍යාව අඩු වී ඇතැයි සංඛ්‍යාදත්ත සඳහන් කරයි. 
 
ඉකුත් 2017 වසරේදී චීනයේ අලුත උපන් දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 17.23ක් වී තිබෙන අතර එය 2-016 වසරේ මිලියන 17.86ක උපත් සංඛ්‍යාව හා සැසඳීමේදී අඩු වීමක් යැයි චීනයේ ජාතික සංඛ්‍යා දත්ත ආයතනයේ ප්‍රධානි නින්ග් ජිෂේ පැවසීය. 
 
චීනයේ වත්මන් ජනගහනය බිලියන 1.4කට ආසන්න වේ. චීනය ජනගහන වර්ධනය පාලනය කිරීම සඳහා දුන් ‘එක්දරු ප්‍රතිපත්තිය’ ඉවත් කරන ලද්දේ 2015 වසරේදීය. වයස් ගත ජනගහනය වැඩිවීම, ශ්‍රමබලකාය අඩුවීම යන කරුණු සලකා බලමින් එම ප්‍රතිපත්තිය ඉවත් කරන ලදි. 
 
දරුවන් සෑදිය හැකි වයසේ කාන්තාවන්ගේ ජනගහනය අඩුවීමත් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විවාහවීම හා දරුවන් ලැබීම ප්‍රමාද කිරීම පසුගිය වසරේදී උපත් අඩුවීම හේතු වූ බව චීනයේ ජාතික සෞඛ්‍ය සහ පවුල් සැලසුම් කොමිසමේ නිලධාරියෙක් පැවසීය. 
 
‘සමාජ ආර්ථික කරුණු රැසක් ජනතාවගේ දරුවන් හදා වඩා ගැනීමේ කැමත්තට බලපා තිබෙනවා” යැයි හෙතෙම කීය. ආර්ථික පිරිවැය වැඩිවීම, දරුවන් බලාගන්නා ස්ථාන අවම වීම, දරුවන් සම්බන්ධ සේවා අඩුවීම, කාන්තාවන්ගේ රැකියා සංවර්ධනය සහ රැකියාවල නිරත වන කාන්තාවන්ගේ සංඛ්‍යාව වැඩිවීම යනාදි හේතු එම ප්‍රධාන සමාජ ආර්ථික කරුණු ලෙස පෙන්වාදිය හැකි යැයි ද නම සඳහන් එම නිලධාරියා කීවේය. 
 
055