ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් ඇෆ්ගන් විනිසුරුවරයෙක් සහ තවත් පුද්ගලයන් තුන් දෙනෙකු මිය ගොස් තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම ලොගර් පළාතේ පුලි අලාම් නගරේ උසාවියකට ඇතුළු වූ තලේබාන් තුවක්කුකරුවන් විසින් අවම වශයෙන් හත් දෙනෙක් ඝාතනය කොට 20 කට වැඩි පිරිසකට තුවාල සිදු කර ඇතැයි ද සදහන් වේ.

එම පිරිස් පොලිස් නිල ඇඳුමින් පැමිණ මෙම ප්‍රහාරය සිදු කල බව වාර්තා වෙයි.

මෙම ප්‍රහාරය පහුගිය මස අත් අඩංගුවට ගත් තලේබාන් සටන්කාමීන් මරණ දණ්ඩනයට නියම කිරීමට ප්‍රතිචාර දැක්වීමක් බවට එම සංවිධානය ප්‍රකාශ කරයි.

අප්‍රේල් මස 64කට ජිවිත අහිමි කරමින් කාබුල් නගරයේදී සිදු වූ ප්‍රහාරයෙන් පසු ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ගානි තලෙයිබාන් කෙරෙහි දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

විදෙස් හමුදා රට හැර යන තුරු ඇෆ්ගන් රජය සමඟ සාකච්ඡාවලට සහභාගි වීම තලේබාන් සංවිධානය විසින් ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසුව දෙපාර්ශවය අතර සාමය දෙදරා ගොස් තිබේ.