ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදය පිළිබඳව කනස්සල්ල පළ කරමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානියා යළිත් වරක් ලොවට අවධාරණය කර ඇත්තේ, ඇෆ්ගන් වැසියන්, ජීවත්වීම සඳහා සිය දරුවන් සහ ශරීර කොටස් විකිණීමට යොමු වී ඇති බවය.

ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් අඩකට වඩා සාගින්නෙන් පෙළෙන බැවින්, ඇෆ්ගනිස්තානයට ආධාර බෙදා හැරීම කඩිනම් කරන ලෙස WFP ප්‍රධානී ඩේවිඩ් බේස්ලි යළිත් වරක් ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා තිබේ.

ඇෆ්ගනිස්තානය දේශපාලනික අර්බුද, යුද ගැටුම් සහ ආර්ථික අර්බුදවලින් පමණක් නොව, නියගවලින් සහ වසංගතවලින් ද වසර ගණනාවක් තිස්සේ පීඩාවට පත් වුණු රාජ්‍යයකි.

පසුගිය අගෝස්තුවේ ඇමෙරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමත් තලේබාන්වරුන් යළි එරට පාලනය අල්ලා ගැනීමත් සමග ඇෆ්ගන් වැසියෝ කබලෙන් ලිපට වැටුණාහ.

මේ වනවිට මිලියන 24 ක ඇෆ්ගන් වැසියෝ පිරිසක්, උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දෙති.

එලැඹී ඇති ශීත සෘතුවේ ජනගහනයෙන් අඩකට වඩා සාගතයට මුහුණ දෙනු ඇති අතර, ජනගහනයෙන් සියයට 97 ක් මේ වසරේ දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටිය හැකි යැයි ද ඩේවිඩ් බේස්ලි පෙන්වා දී තිබේ.

(එන්.ඩී.ටීවී)