ඔසාමා බින් ලාඩන්ගෙන් පසු අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායකයා බවට පත් වුණු ඊජිප්තු ජාතික අයිමාන් අල් සවාහිරි ඝාතනය සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය සිය අප්‍රසාදය පළ කර තිබේ.

නියමුවන් රහිත ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාර එල්ල කරමින්, සවාහිරි ඝාතන කිරීමට ඇමෙරිකන් හමුදාව සමත් වූයේ සී.අයි.ඒ. බුද්ධි තොරතුරු අනුවය. එම අවස්ථාවේ, සවාහිරි, ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ස්ථානයක සැඟවී සිටි අතර, සී.අයි.ඒ. බුද්ධි අංශය ඒ බව තහවුරු කර ගැනීමෙන් පසු, ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළේය. ඒ, පසුගිය 31 වැනිදාය.

ඇමෙරිකන් හමුදා තමන්ට නොදන්වා, තම ගුවන් සීමාව උල්ලංඝනය කරමින් සවාහිරි ඝාතනය කිරීම අන්තර්ජාතික ප්‍රතිපත්තීන් උල්ලංඝනය කිරීමක් බවත්, 2020 වසරේ ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් ව යද්දී තලේබාන් රජය සමඟ ඇති කරගත් ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවත් තලේබාන් රජයේ ප්‍රකාශක සහිබුල්ලා මුජහිද් පවසා තිබේ.

ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 ඔක්තෝබරයේය. හේතුව එම වසරේ සැප්තැම්බර් 11 වැනිදා බින් ලාඩන්ගේ අල් කයිඩාව, ඇමෙරිකාවට එල්ල කළ ප්‍රහාරයයි. 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයේ මහ මොළකරුවකු ලෙස අල් සවාහිරි සැලකෙයි.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු බින් ලාඩන් ඇෆ්ගනිස්තානයේ සැඟවූයේ තලේබාන්වරුන්ගේ ආරත්ෂාව යටතේය. ඇමෙරිකාව තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ ඒ අනුවය.

(රොයිටර්)