ඇල්බේනියාවේ සිදුවූ ප්‍රබල භූමි කම්පාවකින් පුද්ගලයින් සයදෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

අද(26) අලුයම් කාලයේ ඇතිවූ මෙම භූ කම්පනයෙන් ටිරානා අගනුවර සහ අවට ප්‍රදේශවල ගොඩනැගිලි කඩාවැටී මහත් අලාභ හානි සිදුවී ඇත.

එය රිච්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයෙන් යුතු කම්පනයක් බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණාගාරය පවසයි.

කම්පන කේන්ද්‍රය ටිරානා අගනුවරට කිලෝමීටර් 30ක් බටහිරින් හා කිලෝමීටර් 10ක් ගැඹුරින් පිහිටා තිබිණි.

මාස දෙකක් ඇතුළත මෙම කලාපයට බලපෑ දෙවන භූ කම්පනය මෙය බව මාධ්‍ය සඳහන් කරයි.
 
ප්‍රධාන කම්පනයෙන් පැය තුනකට පසු ඇතිවූ  පසු කම්පනයකින් ඔටෝමාන් නගරය ම සෙලවී ගිය බව බලධාරීහු පවසති.

ග්‍රීසිය හා මැසිඩෝනියාව අතර ආද්‍රියාතික් හා අයෝනියන් මුහුදු ආශ්‍රිතව පිහිටා ඇති ඇල්බේනියාව නිරන්තරයෙන් භූ කම්පනයන්ට ලක්වේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)