එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සියලු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වහාම අත්හිටුවීමට ඇල්ජීරියානු රජය තීරණය කර ඇත. එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඛණ්ඩව සිදු කරන ප්‍රකෝපකාරී සහ සතුරු ක්‍රියාමාර්ග ඊට හේතුව යැයි ඇල්ජීරියා ජනාධිපති අබ්දෙල්මජිඩ් ටෙබුන් පවසයි.

තමන්ට (ඇල්ජීරියාවට) එරෙහිව, ප්‍රකෝපකාරී, සතුරු ක්‍රියාමාර්ග ගැනීමෙන් වළකින්නැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කිහිප වතාවක් අනතුරු ඇගවීම් කළත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඒ ගැන කිසිදු සැලකිල්ලක් නොදැක්වීම හේතුවෙන් මෙම ක්‍රියා මාර්ගය අනුගමනය කළ බව ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

හොඳහිත පළුදු වූයේ ඊශ්‍රායලය, බටහිර සහාරාව සහ උතුරු අප්‍රිකාවේ සහ සහෙල් කලාපය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිදු කරන බලපෑම් හේතුවෙනි. ද්විපාර්ශ්වික සබඳතා ආරක්ෂා කර ගැනීමට ගත් සියලු උත්සාහයන් සියල්ල මේ වනවිට අසාර්ථක වී ඇතැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා තත්ත්වය නිල වශයෙන් මේ බව දැනුම් දීම සිදුවුණු බවත්, පැය 48ක් ඇතුළත රටින් පිටවන ලෙස ඔහුට නියෝග කළ බවත් ඇල්ජීරියානු විදේශ අමාත්‍යාංශය පැහැදිලි කර තිබේ. 

ඊට අමතරව, ඇල්ජීරියාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලුම සිවිල් සහ හමුදා ගුවන් යානා සඳහා ඇල්ජීරියානු ගුවන් අවකාශය වසා දැමීමට ද පියවර ගෙන ඇත. කෙසේ නමුත් ඇල්ජීරියාවේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට යන සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඇල්ජීරියාවට පැමිණෙන වාණිජ ගුවන් ගමන් සඳහා මෙම වසර අවසන් වනතුරු එක කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවසර දීමට ද ඇල්ජීරියානු රජය තීරණය කර ඇත.

ඇල්ජීරියාව ගත් මෙම තීරණය තාවකාලික එකක් වනු ඇතැයි තමන් දැඩි ලෙස අපේක්ෂ කරන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍යාංශය පවස ඇත. සහෝදර ඇල්ජීරියානු ජනතාව කෙරෙහි තමන් තුළ ඇත්තේ ඉහළ පැසසුමක් බවත්, එමීර් රාජ්‍යයේ ජීවත් වන ඇල්ජීරියානු ප්‍රජාව සහ සංචාරකයන් සමඟ පවතින බැඳීම් අගය කරන බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.