ලොව විශාලතම දුරකතන සන්නිවේදන උපාංග නිෂ්පාදන සමාගම ලෙස සැලකෙන හුවාවි සමාගම ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පනවා තිබෙන සම්බාධක උල්ලංඝණය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා එල්ල වී තිබේ.
 

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදයේ අධිකරණ දෙපාර්තමේන්තුව හුවාවි සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට සූදානම් වෙමින් සිටී.


එනමුත් හුවාවි සමාගම එල්ල වන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. ඇමෙරිකා එක්සත් ජනපදය හුවාවි සමාගමට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බව නිවේදනය කළේ ඇමෙරිකා-චීන වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමට දින කිහිපයක් තිබියදීය. 


 හුවාවි සමාගමට සහ එහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනියට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස චෝදනා එල්ල කර තිබේ.  
 
 ඇමෙරිකාව ඉරානයට පනවා තිබෙන සම්බාධක උල්ලංඝණය කිරීමට කුමන්ත්‍රණය කර අනුබද්ධිත සමාගමක් සමඟ ඉරානය සමඟ ව්‍යාපාරවල නිරත වීමට හුවාවි සමාගම කටයුතු කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි. 
 
 ඇමෙරිකා එක්සත් ජනපදය මෙලෙස හුවාවි සමඟ එරෙහිව නෛතික පියවර ගැනීමට සූදානම් වීමත් සමඟ ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය තවදුරටත් උග්‍ර වනු ඇතැයි පැවසේ. 
 
 ඉහත චෝදනාවට අමතරව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව හුවාවි සමාගමට තවත් චෝදනා කිහිපයක්ම එල්ල කර තිබේ. හුවාවි සමගාම ඇමෙරිකා එක්සත් ජනපදයේ ටී-මොබයිල් සමාගමේ රොබෝ තාක්ෂණය සොරකම් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව චෝදනා කළේය.
 
 සමාගම් දෙක 2017 වසරේදී එම ආරවුල සමථයකට පත් කර ගත් බව හුවාවි සමාගම සඳහන් කළේය. 
 
 රොයිටර් ඇසුරිනි 

055