ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අප්‍රිකානු දූත පිරිසකට වඳුරන්යනුවෙන් පවසා ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සඟරාවක් අද (31) අනාවරණය කළේය. 

හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් ඒ බව පවසා ඇත්තේ 1971 වසරේදීය. දුරකතන ඇමතුමක් දෙමින් ඔහු ඒ බව පවසා ඇත්තේ එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබ වූ රිචඞ් නික්සන්ටය. 

එම කාලයේදී ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් කැලිෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළේය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ඡන්ද විමසීමක් පවත්වා තිබෙන අතර අප්‍රිකානු දූත පිරිස එම ඡන්දයේදී ඇමෙරිකාවට එරෙහිව ඡන්දය භාවිත කර ඇත. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති රොනල්ඞ් රේගන් එයින් කෝපයට පත්ව ඇත. 

පැරැණි හඬ පට කිහිපයක් හමු වූ බවත් ඒවායෙන් මේ බව අනාවරණය වූ බවත් මේ පුවත වාර්තා කළ එම සඟරාව තවදුරටත් සඳහන් කර ඇත. 

තායිවානය එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වයෙන් ඉවත් කර චීනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස පිළිගැනීමට මෙම ඡන්ද විමසීම පවත්වා තිබේ.

එම ඡන්ද විමසීමේදී චීනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටක් ලෙස පිළිගත් එයින් උද්දාමයට පත්වූ ටැන්සානියානු දූත පිරිස නර්තයෙන් යෙදී ඇත. 

රොනල්ඞ් රේගන් තායිවානයට සහාය පළ කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් ඔහු දැඩි කනගාටුවටත් කෝපයටත් පත්ව ඇත.   

“අර අප්‍රිකානු රටවලින් ආපු වඳුරෝ, උන්ට තාම සපත්තු දාගෙන ඉන්න බැරිද කොහේද” යනුවෙන් ජනාධිපති රිචඞ් නික්සන්ට දුරකතන ඇමතුමක් දෙමින් රොනල්ඞ් රේගන් පවසා ඇත. ජනාධිපති නික්සන් ඊට සිනහා වෙන අයුරු ඇසේ. රිචඞ් නික්සන් 1974 වසරේදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි 

055