IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඇමරිකාවේ ගිනිඅවි පාලනයට නව නීති

ගිනි අවි පාලනය කිරීමේ නව පනත් කෙටුම්පතට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අත්සන් තැබුවේය.

පනත් කෙටුම්පත ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කෙරුණු අතර, කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඊට හිමිවනු ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ඇමෙරිකාවේ ගිනි අවි පාලනයට නව නීති ගෙන අවශ්‍ය යැයි වසර 30 කට වැඩි කාලයක් තිස්සේ වාද විවාද පැවැතිණි. ‍

කෙසේ නමුත් පසුගිය දිනවල ඇමෙරිකාවේ නන්දෙසින් ගිනි අවි සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වීමත් සමඟ ගිනි අවි පාලනයට නව නීති සකස් කළ යුතු යැයි යළිත් වරක් කථිකාවතක් ගොඩ නැගුණි. ගිනි අවි පාලනයට කඩිනමින් නීති සකස් කිරීම බයිඩන් පරිපාලනය විසින් සිදු කරනු ලැබුවේ ඒ අනුවය.

බයිඩන්ගේ පාලක ඩිමොක්‍රටික්වරුන් පමණක් නොව, ගිනි අවි සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ගේ ද අනුමැතිය ඊට හිමිවිය.

“මේ පනත් කෙටුම්පත හරහා ගිනි අවි පාලනයට මා බලාපොරොත්තු වන සියලු දේ ඉටු වන්නේ නැහැ. ඒත් ජීවිත බේරා ගැනීමට වසර ගණනක් තිස්සේ මා ඉදිරිපත් කළ යෝජනා රැසක් පනත් කෙටුම්පතට ඇතුළත් වෙනවා” යැයි ජනාධිපති බයිඩන් පනත් කෙටුම්පතට අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය හමුවේ පැවැසුවේය.

සම්මත කිරීමට නියමිත නව නීති යටතේ, අවුරුදු 21 ට අඩු පුද්ගලයකු ගිනි අවියක් මිලදී ගන්නේ නම්, එම පුද්ගලයා සම්බන්ධයෙන් පුළුල් විස්තර සොයා බැලීමක් සිදුවනු ඇත.

සමාජයට අනතුරක් යැයි සැක කරන පුද්ගලයන්ට ගිනි අවි ළඟ තබා ගැනීම තහනම් වන අතර, දැනටමත් එවැනි පුද්ගලයන් සතුව ඇති ගිනිඅවි ඔවුන්ගෙන් ඉවත් කිරීම ප්‍රාන්ත මට්ටමින් සිදු කෙරේ. ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට ගිනි අවි ළඟ තබා ගැනීම තහනම් කෙරනු ඇත.

ඊට අමතරව, පාසල්වල මානසික සෞඛ්‍ය වැඩසටහන් සඳහා මෙන්ම පාසල් ආරක්ෂාව සඳහා ද ඇමෙරිකන් ඩොලර් බිලියන 15 ක අරමුදලක් වෙන් කිරීමට රජය කටයුතු කරනු ඇත.

ගිනි අවිවලට එරෙහිව හඩ නඟන ඇමෙරිකන් සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත්තේ, බයිඩන් පරිපාලනය ගිනි අවි පාලනයට තවත් දැඩි නීති ගෙන ආ යුතු බවය.

ප්‍රහාරක ගිනි අවි විකිණීම සහ ළඟ තබා ගැනීම වහා තහනම් කරන්නැයි සිවිල් ක්‍රියාකාරීන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

පසුගිය මැයි 24 වැනිදා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ කුඩා නගරයක ප්‍රාථමික පාසලකට කඩා වැදුණු එම පාසලේම අධ්‍යාපනය ලැබූ 18 හැවිරිදි ගැටවරයකු කළ වෙඩි තැබීම්වලින් කුඩා දරුවන් 19 දෙනකු සහ ගුරුවරියෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එම 18 හැවිරිදි ගැටවරයා වෙඩි තැබීම කළේ ඔහු විසින් මිලදී ගනු ලැබූ ස්වයංක්‍රීය ප්‍රහාරක ගිනි අවි දෙකකිනි.

ගැටවරයා ගිනි අවි මිලදී ගෙන ඇත්තේ ඔහුට අවුරුදු 18 ක් පිරුණු සැණින් යැයි ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබේ. ගැටවරයා කුඩා දරුයන්ට වෙඩි තැබුවේ මානසික අසහනයකින් පසුවුණු බැවින් යැයි පසුව අනාවරණය විය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමරිකාවේ ගිනිඅවි පාලනයට නව නීති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 519 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site