ඇමෙරිකාවට ඇතුළුවීමට තහනම් කරන ලද ජාතිකයන් අයත් රටවල් අතරට පාකිස්තානය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී රියෙන්ස් ප්‍රයිබස් මහතා පවසයි. 

සරණගාතයන්, සංක්‍රමණිකයන් මෙන්ම හරිත පත් (ග්‍රීන් කාඩ්) වීසා හිමියන්ට ඇමෙරිකාව ඇතුළුවීම තහනම් කරමින් ජනාධිපති ට්‍රම්ප් මහතා දුන් නියෝගයට අදාළ රටවල් අතරට ඉදිරියේදී පාකිස්තානයද ඇතුළත් කෙරෙනු ඇතැයි රියෙන්ස් ප්‍රයිබස් මහතා කීවේය. මේ වනවිට  සිරියාව, ඉරානය, ඉරාකය, ලිබියාව, සෝමාලියව සහ යේමන පුරවැසියන්ට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කර තිබේ. මෙම රටවල බහුතරය මුස්ලිම් ජාතිකයෝ වෙති. 

“මෙම රටවල් හත ඔබාමා පරිපාලනයේදී වඩාත් භයානකම ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුවන රටවල් ලෙසින් කොංග්‍රස් සභාව විසින් හඳුනාගෙන තිබුණා” යැයි සී.බී.සී  පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රයිබස් මහතා පැවැසීය. 
ඒ හා සමාන පසුබිමක් තිබෙන රටවල් කෙරෙහි ද ඉදිරියේදී අවධානය යොමු කරන බව ඔහු පැවැසීය. මේ වනවිටත් පාකිස්තානු සහ ඇෆ්ගනිස්තාන පුරවැසියන් ඇමෙරිකාවට ඇතුළුවන වනවිට දැඩි පරීක්ෂාවකට ලක් කෙරේ.

දැනටත් පාකිස්තානු ජාතිකයන් මෙන්ම පාකිස්තාන-ඇමෙරිකානුවන් දහස් ගණනක් ඇමෙරිකාවේ ජීවත්වෙති.
“මේ රටවල් තමයි ත්‍රස්තවාදීන්ගේ නිවහන. එම රටවල් ත්‍රස්තවාදීන් පුහුණු කරනවා. මේ රටවල්වලින් කවුද එන්නේ යන්නේ පිළිබඳ අපි සොයා බැලිය යුතුයි. ඔවුන්ගෙන් අපේ රටට හානි සිදුවීම වැළැක්විය යුතුයි” යැයි ප්‍රයිබස් මහතා කීය.