ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ ජනවාරි මාසයේදී යුක්රේනයේ සංචාරයක නිරත වීමට නියමිතය.

යුක්රේනයට ද සම්බන්ධ හේතුවක් මුල් කරගනිමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත වී තිබෙන මොහොතක රාජ්‍ය දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කළේය.

යුක්රේනයට අමතරව රාජ්‍ය ලේකම්වරයා බෙලරූස්, කසක්ස්තාන්, උස්බෙකිස්තාන් සහ සයිප්‍රසය යන රටවල ද සංචාරය කිරීමට නියමිතය.

මෙම සංචාරයේදී මයික් පොම්පෙඕ යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මුණ ගැසීමට ද නියමිත බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා මෝර්ගන් ඕටගස් සඳහන් කළාය.

මේ වසර මුලදී දෙරටේ නායකයන් අතර ඇති වූ මතභේදාත්මක දුරකතන ඇමතුමෙන් පසු යුක්රේනයේ සංචාරයක නිරත වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ ද මයික් පොම්පෙඕය.
 
ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝගයට එක් හේතුවක් වූයේ ද ඔහු සහ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර ඇති වූ එම මතභේදාත්මක දුරකතන ඇමතුමය.

ඒ.එෆ්.පී. 
 
 
055