මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර පැවැති 47 වැනි ‘ආසියාන්’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමෙන් පසු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජපානයේ ටෝකියෝ අගනුවර බලා පැමිණියේය.

ජපන් රජයෙන් ට්‍රම්ප් සහ ඔහුගේ ප්‍රමුඛ නියෝජිත කණ්ඩායමට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ජපානයේ නව අග්‍රාමාත්‍යවරිය වන සනේයි ටකයිචී සහ ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අතරේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණු බව විදෙස් මාධ්‍ය පැවැසීය.

ජපන් අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ පළමු කාන්තාව ලෙස සැලකෙන්නේ ටකයිචී ය. මැය ඝාතනයට ලක් වුණු හිටපු ජපන් අග්‍රාමාත්‍ය ෂෙන්සෝ අබේගේ ගෝලයකු ලෙස ද සැලකෙයි. අබේ ඝාතනයට ලක් වූයේ 2022 වසරේදීය.

එම හමුවේ දී, අග්‍රාමාත්‍යවරිය, ඇමෙරිකන් ජනාධිපතිවරයාට, ෂෙන්සෝ අබේ විසින් පරිහරණය කළ රන්වන් ගොල්ෆ් බෝලයක් සහ ගොල්ෆ් පිති තෑගි කිරීමට නියමිත බව පැවැසෙයි.

“ෂෙන්සෝ අබේ කියන්නේ මගේ හොඳ මිතුරෙක්. දැන් ජපාන අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරන්නේ අබ්ගේ ගෝලයෙක්. ඇමෙරිකන් ජපන් සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට අපට හැකිවේවි නිසැකයි” යැයි මැලේසියාවේ සිට ජපානය බලා ගුවනින් යද්දී ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා තිබුණි.