බීජිංහිදීය (ඒ.එෆ්.පී)
 
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආනයනික ඇළුමීනියම් සහ යකඩ මත තීරුබදු පැනවීමට තීරණය කිරීමත් සමඟ එරටට චීනය හා ජපානය ඇතුළු ඔවුන්ගේ ප්‍රධානතම වෙළෙඳ සහකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ. 

 
විදේශ යකඩ සහ ඇළුමීනියම් මත තීරු බද්දක් පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් ද කටයුතු කළේය. එයත් සමඟ ආසියානු කලාපයේ දැවැන්ත ආර්ථික හිමි චීනය සහ ජපානය මෙන්ම ඇමෙරිකාවේ අනෙකුත් වෙළෙඳ පාර්ශවකරුවන්ගෙන් ඇමෙරිකාවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මෙයත් සමඟ ගෝලීය ආර්ථික යුද්ධයක් ඇති වීමේ අවදානමක් ද නිර්මාණය වී තිබේ. 
 
ආනයනික යකඩ මත පැනවූ සියයට 25ක තීරුබද්ද සහ ආනයනික ඇළුමීනියම් මත පැනවූ සියයට 10ක තීරුබද්ද ආර්ථික සබඳතාවලට අහිතකර ලෙස බලපානු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීප මිතුරකු මෙන්ම ප්‍රධානතම වෙළෙඳ පාර්ශවකරුවකු වන ජපානය අනතුරු ඇඟවීය. ඇමෙරිකාව ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර ජපානය ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. 
 
තීරුබදු පැනවීමට ඇමෙරිකාව ගත් තීරණය ගෝලීය වෙළෙඳ පද්ධතියට සහ ලෝක ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇතැයි ජපාන රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු වන යොෂිහිදේ සූගා පැවැසීය. ඇමෙරිකාවේ තීරණය ජාත්‍යන්තර වෙළෙඳ සම්මතයට එල්ල වූ දරුණු ප්‍රහාරයක් යැයි ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය ඇමෙරිකාවේ තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කීය. 
 
කෙසේ නමුත් මෙම තීරුබදු ඇමෙරිකාවේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝවට අදාළ නොවන බව ද වාර්තා වේ. කැනඩාව, බ්‍රසීලය, රුසියාව, දකුණු කොරියාව, ජපානය, ජර්මනිය චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇමෙරිකාව සමඟ යකඩ සහ ඇළුමීනියම් වෙළෙඳාමේ යෙදෙන රටවල්ය. 
 
055