හංගේරියානු මහ මැතිවරණයෙන්, වසර 16 ක් තිස්සේ බලයේ සිටි වික්ටර් ඕර්බන් සහ ඔහුගේ ෆිඩෙස් පක්ෂය පරාජය කිරීමට විපක්ෂ නායක ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ පීටර් මැග්යාර් සමත් විය. පීටර් මැග්යාර් නියෝජනය කරන්නේ තීසා පක්ෂයයි.

වික්ටර් ඕර්බන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේත් මිතුරෙකි. මැතිවරණයට පෙර පැවැති අවසන් මැතිවරණ රැලියකට, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් පවා සහභාගී විය. ඒ, වික්ටර් ඕර්බන්ගේ ඇරැයුමකට අනුව, ඔහුට සහාය පළ කරමිණි.

ආසන 199 කින් සමන්විත හංගේරියානු පාර්ලිමේන්තුවේ ආසන 138ක් දිනා ගැනීමට පීටර් මැග්යාර්ගේ මධ්‍යස්ථ මතධාරී පක්ෂය සමත්ව විය. එය ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් සියයට 53.6ක ප්‍රතිශතයකි. වසර ගණනාවක් හංගේරියාව පාලනය කළ ඕර්බන්ගේ ෆිඩෙස් පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 55ක් පමණක් වන අතර ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 37.8කි.

පීටර් මැග්යාර්, කලක් ඕර්බන්ගේ ගෝලයකු විය. පසුව ඔහු ඕර්බන්ගෙන් වෙන් වී ස්වාධීන දේශපාලන ගමනක් ආරම්භ කළේ තීසා පක්ෂය පිහිටුවා ගනිමිනි. හංගේරියාවේ සිදුවුණු මෙම දේශපාලන පෙරළිය යුරෝපා කලාපයේ ද දැඩි අවධානයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.