
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මැදපෙරදිග රටවල සංචාරයක නියැලෙයි. ධවල මන්දිරය වාර්තා කළේ රූබියෝ,සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමිරේට්ස්, ඕමාන්, කුවේට් සහ බහරේන් යන රටවල සංචාරය කරන බවය.
යුද ගැටුම් අවසන් කිරීමට ඇමෙරිකාව සහ ඉරානය අතරේ ඇතිකරගත් අවබෝධතා ගිවිසුම සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ අනාගතය ඇතුළු කලාපීය ගැටලු සම්බන්ධයෙන්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා සාකච්ඡා කරන බව පැවැසෙයි. ධවල මන්දිරයට අනුව, රූබියෝ මෙම මැදපෙරදිග සංචාරය ආරම්භ කරන්නේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙනි.
සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමිරේට්ස්, ඕමාන්, කුවේට් සහ බහරේන් ඇමෙරිකාවේ මිතුරු රාජ්‍යයන්ය. ඉරානය මෙම රටවල ඇමෙරිකන් හමුදා ඉලක්කවලට පසුගිය කාලයේ ප්‍රහාර එල්ල කළේය. ඒ, ඇමෙරිකාව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි.
යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකාව සහ ඉරානය අතරේ අත්සන් කළ අවබෝධතා ගිවිසුම සම්බන්ධයෙන් මැදරපෙරදිග රටවල් දැනුවත් කිරීමත්, ඒ සම්බන්ධයෙන් එම රටවල නායකයන්ගේ අදහස් දැන ගැනීමත් රූබියෝගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ බව පැවැසෙයි.
විවිධ බාධක පැවැතියත්, මේ වනවිට න්‍යෂ්ටික ගැටලු සහ පනවා ඇති ආර්ථික සම්බාධක සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට ඇමෙරිකාවත් ඉරානයත් සුදානම් වෙයි.
අවබෝධතා ගිවිසුම හරහා, දින 60ක ඒකාබද්ධ මාර්ග සිතියමකට එකඟ වීමට ද දෙපාර්ශ්වය කැමැත්ත පළ කර ඇත. පසුගිය දා ස්විට්සර්ලන්තයේ පැවැති විශේෂ සාකච්ඡා වටයකින් අනතුරුව දෙරටම මෙම තීරණයට එළඹී ඇති බව ද පැවැසෙයි.
ඇමෙරිකා ඉරාන අර්බුදය අවසන් කිරීමට මැදහත් වී කටයුතු කළේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ එරට හමුදාපති මුනීර්ය. ඊට අමතරව කටාර් රාජ්‍යයේ සහාය ද සාම වැඩපිළිවෙළකට යෑමට උපකාරී වූ බව පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd