ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මධ්‍යම සංචිත බැංකුවේ තැන්පත් කර තිබූ ඇමරිකා ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් හැකර්වරුන් හෙවත් අන්තර්ජාල ගිණුම්වලට අනවසරයෙන් පිවිසෙන පුද්ගලයන් විසින් ඉවත් කර ගැනීමේ සිද්ධිය පිළිබද පරීක්ෂණ ශ්‍රී ලංකාව වෙත ද පුළුල් කර තිබෙන බව වාර්තාවේ.

එම පරීක්ෂණ කටයුතු සඳහා ඇමරිකා  එෆ්.බී.අයි පරීක්ෂකයන් ද එක්ව සිටින බවත්, ඒ පිළිබද පරීක්ෂණ කටයුතු සඳහා බංග්ලාදේශ පරීක්ෂකයන් කණ්ඩායමක් පිලිපීනය, ශ්‍රී ලංකාව මෙන්ම නිව්යෝක් මධ්‍යම සංචිත බැංකුව වෙත යාමට සූදානම් වන බවත් ප්‍රංශ පුවත් සේවය සදහන් කරයි.

චීන ජාතිකයන් මෙම අන්තර්ජාල මුදල් කොල්ලය සිදුකර ඇති බව විශ්වාස කෙරෙන අතර, එහිදී ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමට තැත් කර ඇති මුදල ඩොලර් මිලියන 20කට ආසන්න බව කියති.

මෙම සිද්ධිය හේතුවෙන් බංග්ලාදේශ මහබැංකුවේ අධිපතිවරයා මෙන්ම නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනෙකුට ද තනතුරු අහිමි විය. බංග්ලාදේශ රජය ඇමරිකා මධ්‍යම සංචිත බැංකුවේ සුරැකුම් ලෙස තබා ඇති මුදල ඇමරිකා  ඩොලර් බිලියන 27කට ආසන්නවේ.