ජනාධිපතිවරණය සමයේදී කරන ලද ප්‍රකාශයක් ක්‍රියාවට නංවමින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා අන්තර් ශාන්තිකර සහයෝගීතාවයෙන් ඉවත් වීම සඳහා විධායක් නියෝගයක් දී ඇත. හිටපු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ ආසියානු කලාපය පිළිබඳ ප්‍රතිපත්තියේ වැදගත් සාධකයක් වූයේ මෙම අන්තර් ශාන්තිකර සහයෝගීතා ගිවිසුමයි. රටවල් 12ක් සාමාජිකත්වය දරන මෙම වෙළෙඳ ගිවිසුමෙන් ඉවත් වීම සඳහා වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විධායක නියෝගයක් දී ඇත.

“මෙය ඇමෙරිකා සේවකයන්ට විශිෂ්ඨ දෙයක්. අපි කී දේ කළා” පෑනකින් ගිවිසුම කපා හැර කුණු කූඩයකට දමමින් ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා පැවැසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම ගිවිසුම ක්‍රියාවට නැංවුණද ඊට එවකට කොංග්‍රස් සභාවේ අනුමැතිය හිමි නොතිබිණි. බැරැක් ඔබාමා මහතා ජනාධිපතිධුරය දරන සමයේදී කොංග්‍රස් සභාවේ බලය හිමිව තිබුණේ රිපබ්ලිකන් පක්ෂයටය. එබැවින් ඉදිරිපත් කරන ලද බොහෝ ප්‍රතිපත්ති යෝජනාවලට අනුමැතිය ගැනීමට ඔබාමා පරිපාලනයට නොහැකි විය.

මෙම ගිවිසුම නිසා ඇමෙරිකාවේ නිෂ්පාදන කර්මාන්තය කඩා වැටී ඇතැයි විරැකියාව ඉහළ ගොස් ඇතැයි ජනාධිපති ට්‍රම්ප් මහතා ජනපතිවරණ සටන සමයේදී නිරන්තරයෙන් පැවැසීය. ජනාධිපති ට්‍රම්ප් මහතාගේ මෙම ක්‍රියාවට බොහෝ පිරිසකගේ ඇගැයුමට ලක්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩිමොක්‍රටික් පක්ෂයේ බර්නි සැන්ඩර්ස් මහතාද මෙම ක්‍රියාව අගය කර ඇති අතර මෙවැනි ගිවිසුම් මහත් විනාශයක් බවත් එමඟින් රැකියා මිලියන ගණනක් අහිමි වූ බවත් බී.බී.සි පුවත් සේවයට පවසා තිබේ.

මේ අතර ට්‍රම්ප් පාලනයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස රෙක්ස් තිලර්සන් මහතා පත්වීමට නියමිත යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ අනුමැතිය ඔහුට හිමිව ඇති අතර මීළඟට ඔහුට සම්පූර්ණ සෙනට් සභාවේ අනුමැතිය අවශ්‍ය වේ.

ට්‍රම්ප් පරිපාලනය යටතේ සී.අයි.ඒ සංවිධානයේ නව සභාපතිවරයා ලෙස මයික් පොම්පේ පත්වීමට නියමිතය. ඔහුගේ පත්වීම සම්බන්ධයෙන් සෙනට් සභාවේ පැවැති ඡන්දයෙන් පක්ෂව ඡන්ද 66ක් දිනාගැනීමට ඔහු සමත්විය. ඔහුට විපක්ෂව ඡන්ද 32ක් ලැබී තිබිණි. 

download-(1)(1) download(1) download-(2)(2)