මේ දිනවල දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින රුසියාව ඊට පිළියමක් ලැබෙන තාක් කල් දේශපාලඥයින්ගේ නත්තල් නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය දෙසැම්බර් 25 වැනිදා නත්තල් දිනයේදීත් පාර්ලිමෙන්තුව රැස්වුනි. ඊට පෙර අවස්ථාවකදී රූපවාහිනියෙන් ජනතාව ඇමතූ පුටින් කියා සිටියේ මෙදා සැරේ නත්තල පී‍්‍රති වීමට නොව වැඩ කිරීමට වෙන්කළ යුතුව තිබෙන බවයි.

බටහිර පනවා තිබෙන ආර්ථික සම්බාධක හමුවේ රුසියාවේ ආර්ථික සීඝ‍්‍රයෙන් කඩා වැටෙමින් තිබේ.1998 වසරේ වූ ලෙස මෙම වසරේදීද ආර්ථිකයේ දරුණු නායයෑමක් දැකගත හැකි බව ආර්ථික විශේෂඥයෝ කියති.

පිළියමක් ලෙස බදු වැඩිකිරීමට යෝජනාවී ඇතත් පුටින් එයට කැමැත්ත පළ කර නොමැති බව සඳහන්ය.විශේෂයෙන් මධ්‍යසාර වල බදු වැඩි කළ යුතුව ඇතැයි රජය යෝජනා කරද්දී පුටින් ඊට විරුද්දව තිබෙන්නේ තිබෙන්නේ මධ්‍යසාර වල බදු වැඩිකළහොත් රට වැසියන් අනවසරයෙන් මධ්‍යසාර නිපදවීමට පෙළඹෙනු ඇතැයිද,එය ඔවුන්ගේ සෞඛ්‍යයට ගුණදායක නොවනු ඇතැයිද කියමිනි.

රුසියා කාන්තාවන්ටත් රජය හාස්‍යජනක ලෙස උපදෙසක් නිකුත් කර තිබෙන්නේ මිල අධික තොල් ආලේපන ආදිය පැළදීමට මුදල් නොමැති නම් ඒවා පසුපස්සේ නොයන ලෙසයි. පිරිමින් කොහොමත් කැමති ස්වභාවික පෙනුමට මිස ‘තවරා‘ලස්සන කෙරූ පෙනුමකට නොවන බව රජය කියා තිබේ.

කෙසේවුවත් මෙවර තත්ත්වය බරපතල බව පැවසේ. යළි නැගිටීමට රුසියාවට අලූතින්ම ආර්ථික ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට හෝ බටහිර ඉදිරිපත් කර ඇති කොන්දේසි වලට එකඟව තම හැසිරීම වෙනස් කර ගැනීමට හෝ සිදුවනු ඇති බව විශේෂඥ මතයයි.