මියන්මාරයේ සාමාන්‍ය වැසියන් සිව් දෙනෙකු ඝාතනය කළැයි එරට හමුදා භටයින් හත් දෙනෙකු බරපතල වැඩ සහිතව වසර පහකට බන්ධනාගාරගත කර තිබේ.

මිය ගිය අයගේ ශරීර තියුණු කැපුම් තුවාල සහිතව සොයාගැනුණු අතර ඔවුන්ගේ පවුලේ අයගේ දැඩි ඉල්ලීම් මත එම ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විණි. යුධ අධිකරණයක විභාග කෙරුණු එම නඩුවේ විත්තිකාර හමුදා භටයින්ගෙන් සිව් දෙනෙකු හමුදාවේ නිලධාරීන් බවද අනාවරණය වී ඇත.

එම තීන්දුවෙන් බොහෝ පිරිස් පුදුමයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නඩුව එරට හමුදා අධිකරණ ස්වාධීනත්වයේ දුර්ලබ අවස්ථාවක් බවට සදහන් වේ.සුළු ජාතින් සහ හමුදා අතර ඇතිවෙන ගැටුම් වලින් මේ ආකාරයෙන් මිය යන සහ වධ හිංසාවට ලක්වෙන සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව ඉතා වැඩි බැව් අනාවරණය වී තිබේ.

හමුදා තමන්ගේ කෘරත්වය පිළිගැනීම තමන්ගේ පුදුමයට හේතු වූ බව එරට වැසියෝ පවසති.