ඇමෙරිකාවේ ටෙනෙසී ජනපදයේ, මරණ දණ්ඩනය නියම වී සිටි එකම කාන්තාව, ක්‍රිස්ටා පයික්ගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගොස් එය අසාර්ථක වීම මුල්කොට ගනිමින්, මේ වනවිට අර්බුදයක් නිර්මාණය වී ඇත.

මරණ දඬුන ක්‍රියාත්මක කරමින්, ඇයට මාරක එන්නත් මාත්‍රා දෙකක් ලබා දීමට බන්ධනාගාර බලධාරීන් සහ බන්ධනාගාර වෛද්‍ය කණ්ඩායම කටයුතු කර ඇති නමුත්, එම විස එන්නත් මාත්‍රා දෙකට 50 හැවිරිදි ක්‍රිස්ටා පයික්ගේ හදවත නතර කිරීමට හැකි වූයේ නැත.

ඒ අනුව, ක්‍රිස්ටා පයික් රෝහල්ගත කළ බවත්, මේ වනවිට බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් යටතේ ඇය ප්‍රතිකාර ලබන බවත් පැවැසෙයි.

ක්‍රිස්ටා පයික් රඳවා තිබුණේ, නැෂ්විල් රිවර්බෙන්ඩ් බන්ධනාගාරයේය. මරණයට පත් කිරීම සඳහා ක්‍රිස්ටාට එන්නත් කර ඇත්තේ, පෙන්ටොබාර්බිටල් නමැති විෂ රසායනයයි.

ක්‍රිස්ටා පයික්ගේ නීතිඥයින් හදිසි පෙත්සමක් ගොනු කරමින් කියා සිටියේ, එන්නත් ලබා දීමෙන් පසු, පයික් සිහිසුන්ව සිටිය ද ඇගේ හෘද ස්පන්දනය දිගටම පැවැති බවත්, ඇය ගොරවමින් නිද්‍රා තත්ත්වයක සිටි බවත්ය.

1995 වසරේ දී, 18 හැවිරිදි  ක්‍රිස්ටා පයික් සහ ඇගේ පෙම්වතා, 19 හැවිරිදි කොලීන් ස්ලෙමර් නම් තරුණියට වධ හිංසා කර, ඇය මරා දැමූහ. ඊට වරදකාරිය වුණු පයික් ට මරණ දණ්ඩනය නියම විය.