යැංගොන්හිදීය (ඒ.එෆ්.පී)

මියන්මාර මහ මැතිවරණයෙන් 70% කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගැනීමට හැකි වී යැයි එරට විපක්ෂය වන අවුන් සාන් සූ කීගේ ‘ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය’ පවසයි.

මියන්මාර මහ මැතිවරණය පැවැත් වූයේ ඉරිදා (8) ය. එහි ප‍්‍රතිඵල අද (9) නිකුත් කිරීමට පටන් ගත්තේය. මැතිවරණය පැවැත් වූයේ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට ආසන සහ ජාතික සභාව සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය.

විපක්ෂ නායිකාව මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකාව ද වන අවුන් සාන් සූ කීගේ ‘ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගය’ කියා සිටියේ සඳුදා සවස් වනවිට නිකුත් කෙරුණු ඡුන්ද ප‍්‍රතිඵල අනුව, 70% කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගැනීමට සමත් වුණු බවය.

බහුතර බලයක් හිමි කර ගැනීමට නම් සියයට 60 කට වඩා ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගත යුතුව තිබුණි. අවසන් ඡන්ද ප‍්‍රතිඵලය නිකුත් වන තුරු ජයග‍්‍රහණය කාට හිමි වන්නේදැයි කිව නොහැකි බව මියන්මාර මැතිවරණ කොමිසම පවසයි.

මියන්මාරයේ පාලක පක්ෂය වූ එක්සත් සහයෝගීතා සහ සංවර්ධන පක්ෂය වෙනුවෙන් එහි නායක ටායි  ඕ මාධ්‍ය හමුවේ කියා සිටියේ තම පක්ෂය පරාජය වුණු බවයි. මැතිවරණ ප‍්‍රතිඵලය පිළිගන්නා බවත් ඔහු කියයි.

25 වසරකට පසු මියන්මාරයේ පැවැති නිදහස් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණය මෙය යැයි පැවැසේ.

මියන්මාර විපක්ෂ නායිකාව ලෙස ජයග‍්‍රහණය කළත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලීගයට නායකත්වය දුන්නත් සූ කීට රටේ ජනාධිපති ධුරය බාර ගැනීමට නොහැකිය.

ඒ පැවැති හමුදා රජය සකස් කළ නීති හේතුවෙනි. එම නීතිවලට අනුව, විදේශිකයකු සමඟ විවාහ වූ දරු දැරියන් පිටරටවල සිටින අයකුට මියන්මාරයේ ජනපති ධුරය බාර ගැනීමට නොහැකි වෙයි.

මියන්මාර හමුදා රජය මෙලෙස නීති සකස් කළේ ද සූ කී යළි බලයට පත් වීම වැළැක්වීමටය. සූ කී විවාහ වී සිටියේ බි‍්‍රතාන්‍ය ජාතිකයකු සමඟය. ඇය දරු දෙදෙනකුගේ මවකි. දරුවෝ බි‍්‍රතාන්‍යයේ පුරවැසියෝය.

තම පක්ෂය බහුතර බලයක් සහිතව ජයග‍්‍රහණය කළොත්, ජනපති ධුරයට වඩා උසස් තත්ත්වයකට තමා පත්වන බව සූ කී මැතිවරණයට දින කිහිපයකට පෙර මාධ්‍ය හමුවකදී කියා තිබුණි.

ජනපති ධුරය තමන්ට නොලැබුණත්, තම පක්ෂය ජයග‍්‍රහණය කර රජයක් පිහිටුවුවහොත් වැදගත් තීරණ සියල්ල තමා විසින් ගනු ඇතැයි ද සූ කී එම මාධ්‍ය හමුවේදී පැවැසුවාය.

ඉරිදා පැවැත්වූ මහ මැතිවරණයේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා මිලියන 30 ක් සුදුසුකම් ලබා සිටියහ. ඡුන්දය ප‍්‍රකාශ කිරීම ඉතා ඉහළ ප‍්‍රතිශතයක් ගත් බව මියන්මාර මාධ්‍ය වාර්තා කළේය. දේශපාලන පක්ෂ 91 ක් මැතිවරණයට ලියාපදිංචි වී තිබිණි.

යුරෝපා රටවල් නියෝජනය කරමින් විශේෂ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් මියන්මාරයට පැමිණ සිටියහ. ඔවුන් පැවැසුවේ සුළු සිද්ධීන් කිහිපයක් වාර්තා වුණු නමුත් මැතිවරණය සාමකාමී සහ සාධාරණ අයුරින් පැවැත්වුණු බවය.

4e4a4edf602a34328201511970670089a0 ae9e6215608c36328702015119f6a7067000e3f da612e4d38e52532870f20151196a706700a29b