රුසියන් යුක්රේන සටන් විරාමයක් සඳහා, යුක්රේනයේ ඩොන්බාස් පළාත තමන්ට දෙන්නැයි රුසියාව කළ ඉල්ලීම, යුක්රේනය තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඩොන්බාස් යනු රුසියාව, යුක්රේන හමුදා සමඟ සටන් කිරීමෙන් පසු අල්ලා ගත් පළාතකි.

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අවධාරණය කර ඇත්තේ, තමන් සටන් විරාමයකටත් සාම වැඩසටහනකටත් යන්නේ නම්, රුසියාව යුක්රේනයේ අල්ලා ගත් සියලු පළාත් සහ ප්‍රදේශ ආපසු යුක්රේනයට ලබා දිය යුතුයි යන්නය.

රුසියාව මේ වනවිට ඩොන්බාස් පමණක් නොව, නැගෙනහිර යුක්රේනයේ තවත් පළාත් සහ ප්‍රදේශ රැසක් අත්පත් කරගෙන සිටින අතර, එම පළාත්වල ජීවත් වන වැසියෝ බොහෝ දෙනෙක් ද රුසියන් බස කතා කරන අය වෙති.

ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් යන ප්‍රදේශ අයත් වන්නේ ද ඩොන්බාස් පළාතටය. රුසියාව ලුහාන්ස්ක් සියලු ප්‍රදේශ සහ ඩොනෙට්ස්ක්වලින් සියයට 70 ක් අත්පත් කරගෙන සිටින බව ද පැවැසෙයි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති අතර සාකච්ඡා ඇලෙස්කාවේ පැවැත්වීමට නියමිතය. ඒ, 15 දිනයේය. සාකච්ඡා සාර්ථක වුවහොත් රුසියන් ජනාධිපති පුටින් සහ යුක්රේන ජනාධිපති සෙලෙක්ස්කී මුහුණට මුහුණ මුණගැස්වීමට සලස්වන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා ඇත.