සැම්බියාවේ ලූආන්ග්වා ජාතික වනෝද්‍යානයේ ඇතෙක් සියඹලා ගසකට නැග්ගේය.

ගස පසෙකින් තිබූ විශාල තුඹසකට ගොඩවූ ඇතා ප්‍රවේසමින් ගසේ අත්තකට ගොඩ විය.

අනතුරුව හොඩවැල ඒ මේ අත දිගුකරමින් සියඹලා රස විදින්නට විය.

මේ සියල්ල වනජීවී ඡායාරූප ශිල්පී බ්‍රයන් ජැක්සන්ගේ කැමරාවේ සටහන් විය.

ජැක්සන්ට අනුව වනෝද්‍යානයේ වෙසෙන අලි ඇතුන් සියඹලා කෑමේ රුසියෝය.ගසින් ගස සොයා යන ඔවුන් පෙර පාද ඔසවාගෙන පසු පාද වලින් සිටගනිමින් හොඩවැලද යොදාගෙන සියඹලා ගස් ‘සුද්ධ‘ කරන බව ඔහු කියයි.

ගස් අතු වලට ගොඩවීමට ඇතැමුන් උත්සාහ කරන බවත් බොහෝ අවස්ථාවන්හි සිදුවන්නේ ගසද පෙරළාගෙන ඔවුන් බිමට වැටීම බවත් ඔහු පවසයි.

මේ ඇතාට නම් ආපදාවකින් තොරවම ගසේ අත්තටම ගොඩවී සියඹලා රස බැලීමේ අවස්ථාව ලැබී ඇති සෙයකි.