නායක අයිමාන් අල් සවාහිරි ඝාතනයෙන් පසු ‘අල් කයිඩා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය මුළුමනින්ම අඩපණ වී ඇති බවත් මීළඟ නව නායකයා කවුරු වුනත් ඔහු ඔසාමා බින් ලාඩන් හෝ අයිමාන් අල් සවාහිරි තහම් බිහිසුණු නායකයකු නොවනු ඇති බවත් ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය පැහැදිලි කර තිබේ.

අයිමාන් අල් සවාහිරි, අල් කයිඩාවේ නායකත්වයට පත් වූයේ 2011 දීය. ඒ, අල් කයිඩා නායකයා ලෙස කටයුතු කළ ඔසාමා බින් ලාඩන් ඝාතනයට කිරීමට ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය සහ නේවි සීල් භට කණ්ඩායමක් සමත් වීමෙන් පසුවය. අයිමාන් අල් සවාහිරි, ඔසාමා බින් ලාඩන්ගේ දෙවැනියා වූ අතර බින් ලාඩන් ඝාතනයෙන් පසු අල් කයිඩා නායකත්වය සවාහිරිට පිරිනැමීම සුදුසු යැයි අල් කයිඩාවේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම සෙසු නායකයන් ද තීරණය කළේය.

සී.අයි.ඒ. බුද්ධි අංශයට පැහැදිලි කරන ආකාරයට, ජ්‍යෙෂ්ඨත්වය අනුව, අයිමාන් අල් සවාහිරිගෙන් පසු අල් කයිඩාවේ මීළඟ නායකයා වීමට සුදුසුකම් ඇත්තේ සායිෆ් අල් අබ්දෙල්, අබ්දෙල් රහ්මාන් අල් මැගර්බී සහ යසීද් මෙබාරක් යන සිවු දෙනාගෙන් කෙනෙකි. මොවුන් සිවුදෙනා අල් කයිඩාවේ ජ්‍යෙෂ්ඨ නායකයන් වන නමුත් මවුන් කිසිවකු ඔසාමා බින් ලාඩන්ට හෝ සවාහිරිට හෝ සමාන කිරීමට නොහැකි බව සී.අයි.ඒ. බුද්ධි අංශය පවසයි.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නිවස සිටිද්දී, ඇමෙරිකන් සී.අයි.ඒ බුද්ධි අංශය සහ ඇමෙරිකන් හමුදාව එක් වී ඊජිප්තු ජාතික 71 හැවිරිදි සවාහිරි ඝාතනය කෙරුණේ නියමුවන් රහිත දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක, ‘එම්.කියු 9 රීපර්’ වර්ගයේ ඩ්‍රෝන යානයක ආධාරයෙනි. පසුගිය 31 වැනිදා උදෑසන 6.18 ට සවාහිරි එම මහල් නිවසේ සඳලු තලයට පැමිණ දෙවියන්ට යාඥා කරද්දී ‘එම්.කියු 9 රීපර්’ යානය මිසයිල දෙකක් යවා සවාහිරි ඝාතනය කළ බව පැවැසෙයි.

සවාහිරි ඝාතනයට යොදාගෙන ඇත්තේ  ‘ආර්9එක්ස් නින්ජා’ වර්ගයේ මිසයිලය. ‘ආර්9එක්ස් නින්ජා’ යනු ඇමෙරිකන් හමුදාව, ඔවුන්ගේ ඩ්‍රෝන යානාවලට යොදා ගන්නා නවතම අවියයි. මේ මිසයිලයට පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් නොවෙයි. මිසයිලයට සවි කර ඇත්තේ තියුණු දැති තල පොකුරකි. මේ දැති තල ඕනෑම දෙයක් පසුරු කරයි. සවාහිරිගේ සිරුර කැබැලි කිරීමට ‘ආර්9එක්ස් නින්ජා’ මිසයිලය සමත් විය‍.

ඇමෙරිකාව, ‘ආර්9එක්ස් නින්ජා’ මිසයිල යොදා ගන්නේ ඔවුන්ට අවශ්‍ය ඉලක්කය පමණක් විනාශ කිරීමට සහ අමතර ජීවිත හානි වළක්වා ගැනීමටය. පුපුරන ද්‍රව්‍ය නොමැති බැවින් සහ පිපිරුමක් සිදු නොවන බැවින් ජීවිත හානි හෝ දේපොල හානි හෝ අවමය. ජූලි 31 වැනිදා ප්‍රහාරයෙන් මියගියේ සවාහිරි පමණක් යැයි ඇමෙරිකාව පවසයි. ඔහුගේ බිරිඳ, දියණිය සහ දියණියගේ දරුවන් නිවසේ සිටියත් ඔවුන්ට අනතුරක් නොවුණු බව ඇමෙරිකන් හමුදාව අවධාරණය කර තිබේ.

(ඒ.එෆ්.පී.)