බෝම්බ පුපුරුවමින් මහා ජීවිත විනාශයක් සිදු කිරීමට සැලැසුම් කළ අල් කයිඩා සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ස්පාඤ්ඤ ආරක්ෂක අංශ පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්පාඤ්ඤයේ පදිංචි නූ මඩියෝනී නමැති 23 හැවිරිදි ඇල්ජීරියානු ජාතිකයකු සහ 52 හැවිරිදි එසන් එල් ජවෝනී නමැති මොරොක්කෝ ජාතිකයකුය.
ආරක්ෂක අංශ මොවුන් දෙදෙනා ගැන දීර්ග කාලයක් තිස්සේ සෝදිසියෙන් සිටි බවත්, පෙරේදා (23) රාති‍්‍රයේ මොවුන් අත්අංඩගුවට ගත් බවත් පැවැසීය.
මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකදීය.
මොවුන් මාලි රාජ්‍යයේ කි‍්‍රයාත්මක උතුරු අපි‍්‍රකා අල් කයිඩා ජාලය සමඟ සමීප සබඳතා පැවැත්වූ අය බවත් ස්පාඤ්ඤ ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටී.
ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයෙන් පසු බටහිර රටවල් තම තමන්ගේ ප‍්‍රධාන නගරවල ආරක්ෂාව තර කළ අතර, සැක කටයුතු පුද්ගලයන් වහ වහා අත්අඩංගුවට ගනිමින් සිටියි.
කැනඩා පොලිසිය ද අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාමීය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත්තේය. එම සැකකරුවන් දෙදෙනා අල්ලා ගත්තේ කැනඩාවේ ටොරෙන්ටෝ සිට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර බලා ධාවනය වන මගී දුම්රියක්, බෝම්බ අටවා පුපුරුවා පීලි පැනීමට සලස්වා, මහා ජීවිත හානියක් සිදු කිරීමට සැලැසුම් කර තිබියදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවෝ දෙදෙනා