අයිස්ලන්තයට ඉහළින් පියාසර කිරීමේ දී සැළකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා කාර්යාංශය සියළුම ගුවන් සේවා වෙත රතු නිවේදන නිකුත්කැර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එයට හේතුවී ඇත්තේ බාර්ඩර්බන්ගා ගිනිකන්ද සක්‍රිය වීමයි. දැන් එහි පිපිරීම් හටගෙන ඇත.

භූ විද්‍යාඥයන් පවසන්නේ ගිනිකන්දේ විවරයේ පිපිරීම කිලෝ මීටරයක් පමණ දුරට පැතිරී තිබෙන බවයි. පසුගිය දින කිහිපයේ මෙහි භූ කම්පන කිහිපයක් ම සිදුව ඇත.

අඩි 5000ක් උසට ගුවන් සීමාව තහනම් කැර තිබේ. ආරක්ෂිත දුරක සිටින විද්‍යාඥයන් මෙහි සිදුවන පිපිරීම් ගණනය කරමින් සිටියි. සාමාන්‍ය ගිනිකන්දකින් පිටවන අළු තවමත් දක්නට නැතත් සුදු පැහැති දුම විශාල වශයෙන් කන්දෙන් පිටවෙමින් තිබේ.

කාලගුණ විද්‍යා කාර්යාංශය නිවේදනය කරන්නේ මෙහි සිදුවෙමින් පවතින්නේ ලාවා පිපිරීමක් බවයි. එවිට වායුගෝලයට අළු පිටනොවනු ඇත. එසේ වුව ද ගුවන් ගමන්වලදී වඩාත් සැළකිලිමත් විය යුතුයැයි එම කාර්යාංශය පවසයි.