අයර්ලන්ත ජනාධිපතිවරණයෙන්, විශිෂ්ට ජයග්‍රහණයක් හිමි කර ගැනීමට කැතරින් කොනොලි සමත් වූවාය. ඇය අයර්ලන්ත ජනරජයේ 10 වැනි ජනාධිපතිනියයි.

ඇයට අභියෝග කළ ෆයින් ගේල් පක්ෂයේ හෙදර් හම්ෆ්‍රීස් පරාජය බාරගත් බව ද පැවැසෙයි. කොනොලි මනාප ඡන්ද 914,143 ක් (සියයට 63 ක්) දිනා ගත්තාය. එය අයර්ලන්ත ජනාධිපතිවරණ ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් යැයි පැවැසෙයි.

ප්‍රධාන වාමාංශික පක්ෂවල සහය ලැබූ ස්වාධීන අපේක්ෂිකාවක වන කොනොලි, සිය විජයග්‍රාහී කතාවේදී පැවැසුවේ, තමන් සියලුම දෙනාගේ ජනාධිපතිනිය බවය. අයර්ලන්තයේ ගෝල්වේ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි ඇය 2016 වසරේ සිට අයර්ලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයක ලෙස කටයුතු කරමින් සිටියාය.

ඇය සිය විජයග්‍රාහී කතාව ප්‍රථමයෙන් අයර්ලන්ත බසින් ද, පසුව ඉංග්‍රීසි බසින් ද සිදු කිරීම විශේෂත්වයකි.