(ඩේලිමේල් ඇසුරිණි-55)

වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයේ වගකීම බාරගන්නා බව අයි.එස්.අයි.එස් සංවිධානය අද (23) නිවේදනය කළේය. ප්‍රහාරය එල්ල කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ උපත ලැබූ කලීඞ් මසූඞ් නැමැති 52 හැවිරිදි පුද්ගයකු යැයි ද බ්‍රිතාන්‍ය පොලිසිය උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
 
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ බදාදා සිදුවු වෙඩි තැබීම් සහ පොලිස් නිලධාරියකුට පිහි පහර එල්ල කළේ අයි.එස් සොල්දාදුවකු බව අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ පුවත් සේවය වන ‘අමාක්’ පුවත් සේවය අද (23) වාර්තා කළේය.

 
එම බ්‍රිතාන්‍ය ජාතිකයා ගැන එරට බුද්ධි අංශ (එම්.අයි 5) මීට වසර පහකට පෙර තොරතුරු දැනගෙන සිටි බවත් ඔහු පිළිබඳ විමර්ශන කටයුතු කර ඇති බවත් අගමැතිනි තෙරේසා මේ අනාවරණය කළාය.
 
ඒ ගැන බී.බී.සි පුවත් සේවය වාර්තා කර තිබූ අතර මෑත කාලීන බුද්ධි අංශ විමර්ශන කටයුතුවලදී ඔහු සම්බන්ධයෙන් සැකයක් ඇති වී නැතැයි බ්‍රිතාන්‍ය අගමැතිනිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත. 
පෙරේදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව ද   බ්‍රිතාන්‍ය පුවත් සේවා අද (23) වාර්තා කළේය.
 
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලොව පැරැණිතම සහ වැඩිම ආරක්ෂාවක් සපයා ඇති පාර්ලිමේන්තුවක් යැයි ද සැලකේ. 
 
මෙම ප්‍රහාරයෙන් පස් දෙනකු මියගිය අතර පනහකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. ඔවුන්ගෙන් හත් දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
 
එම ප්‍රහාරය එල්ල වූයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ප්‍රහාරය එල්ල වී වසරක් පිරෙන දිනයේදීය. එම ප්‍රහාරය වගකීම බාරගත්තේ ද අයි.එස් සංවිධානයයි. ඉන් 32 දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ.