ඩකාහිදීය (ඒ.එෆ්.පී)

ත්‍රස්ත විරෝධී පොලිසිය අයි.එස්.සංවිධානයේ සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව බංග්ලාදේශ පොලිසිය අද (8) සඳහන් කළේය. 

බංග්ලාදේශ ජාතිකයකු බව කියන මෙම පුද්ගලයා සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාත්මක අයි.එස්. සංවිධානයට බැඳී සටන් පෙරමුණට ගොස් තිබෙන බව ද පොලිසිය ප්‍රකාශ කළේය. 

බංග්ලාදේශයේ අගනුවර පිහිටි කෝපි අවන්හලකට 2016 වසරේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර විදේශිකයන් 18 දෙනකු ඇතුළු 22 ක් එම ප්‍රහාරයෙන් මරුමුවට පත්වූහ.

එම ප්‍රහාරය එල්ල කරන ලද්දේ බංග්ලාදේශය තුළ ක්‍රියාත්මක අන්තවාදී සංවිධානයකි. එම සංවිධානයේ සාමාජිකයන් සොයා කරන ලද මෙහෙයුමකදී ඉහත කී පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. 

බංග්ලාදේශ මාපියන් දාව උපත ලබා තිබෙන මොටාජ් අබ්දුල් මජීද් කෆීලුදීන් බෙපාරී (33) නමැති පුද්ගලයකු එලෙස අත්අඩංගුවට පත්ව ඇත. ඔහු සෞදි අරාබියේ සිට සිරියාවට ගොස් එහිදි අයි.එස්. සංවිධානය සමඟ එක්ව තිබේ. 

ඔහු පෙබරවාරි මාසයේදී බංග්ලාදේශයට පැමිණ තිබෙන අතර අයි.එස්. සංවිධානයේ මතවාද නිසා සක්‍රීය වූ ජමයිතුල් මුජහිදීන් බංග්ලාදේශ් (ජේ.එම්.බී) නමැති දේශීය සංවිධානයක් සමඟ සබඳතා ඇති කරගෙන තිබේ. ජමයෙතුල් මුජහිදීන් බංග්ලාදේශ් (ජේ.එම්.බී) සංවිධානය 1998 වසරේදී ආරම්භ කෙරුණු නමුත් කාලයක් සමඟ එහි ක්‍රියාකාරකම් අඩුවිය. එහෙත් අයි.එස්. සංවිධානයේ නැගී සිටීමත් සමඟ එම සංවිධානය නැවත සක්‍රීය වූ අතර 2016 වසරේදී කෝපි අවන්හලට ප්‍රහාර එල්ල කළේය. 

බෙපාරී අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩකා අගනුවර මුස්ලිම් පල්ලියක් අසලදීය.

බංග්ලාදේශය මුස්ලිම් රාජ්‍යයකි. 2016 ප්‍රහාරයෙන් පසු, බංග්ලාදේශ රජය වහා ක්‍රියාත්මක වී, රටේ ආරක්ෂාව තර කළේය. අයි.එස්. සංවිධානයට එක්වුණු සහ රටහැර ගිය ත්‍රස්තවාදීන් දැඩි ලෙස මර්දනයට ලක් කිරීම ඇරැඹිණි.

සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ එක් වුණු බංග්ලාදේශ වැසියන් ආපසු පැමිණෙද්දී, ඔවුන් අල්ලා ගැනීමටත්, පසුව ඔවුන්ට මරණ දඬුවම ලබා දීමටත් බංග්ලාදේශ රජය පියවර ගෙන ඇත. 

2016 ඩකා කෝපි අවන්හලට පහර දුන් ජමයෙතුල් මුජහදීන් බංග්ලාදේශ් ඉස්ලාමීය අන්තවාදී කල්ලිය බංග්ලාදේශ රජය විසින් තහනම් කරනු ලැබ තිබුණේ 2015 දීය. බංග්ලාදේශ රජය මැදිහත් වී එහි සාමාජිකයන් ද කඩිනමින් අත්අඩංගුවට ගත්තේය.

055