දකුණු දිග පාකිස්තානයේ දේවස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 72 දෙනකු මියගොස් 200කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරය පසුගිය දින කිහිපය තුළ දකුණු ආසියානු කලාපයට එල්ල වූ ප්‍රහාර අතරින් ප්‍රබලතම එකක් යැයි විදෙස් පුවත් වාර්තා කරයි.

මෙම ප්‍රහාරයේ වගකීම මැද පෙරදිග කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් බාරගෙන තිබිණි.  අයි.එස් ත්‍රස්ත සංවිධානය මේ වනවිට පාකිස්තානය තුළ ඉතා වේගයෙන් ක්‍රියාත්මක වන බව ආරක්ෂක සහ බුද්ධි තොරතුරු විශ්ලේෂකයෝ පෙන්වාදෙති. 

ප්‍රහාරය එල්ල කර ඇත්තේ පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන අයි.එස් ත්‍රස්ත සංවිධානයට හිතවත් කණ්ඩායමක් යැයි අයි.එස් සංවිධානය හා සම්බන්ධ පුවත් සේවයක් වන අමාක් පුවත් සේවය වාර්තා කරයි.

මියගිය සංඛ්‍යාව තවත් වැඩි වනු ඇතැයි ප්‍රහාරය එල්ල වූ දේවස්ථානය ආසන්නයේ තිබෙන රෝහලක සිටින පාකිස්තාන පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසයි.

“දැනටමත් මළ සිරුරු 72ක් හමු වී තිබෙනවා. මියගිය පිරිස තවත් වැඩි වෙන්න පුළුවන්. එකසිය පනහකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා” යැයි ෂබීර් සෙතාර් මහතා කියයි.

මේ අතර ඉරාකයේ බැග්ඩෑඞ් නුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 48 දෙනකු මියගොස් 55 දෙනකු තුවාල ලබා ඇත.එම ප්‍රහාරයේ වගකීම ද අයි.එස් ත්‍රස්ත සංවිධානය බාරගෙන තිබිණි.