දෙවැනි ලෝක  යුද්ධයේ අවසානය සනිටුහන් කරමින් ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගරවලට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයේ වේදනාකාරී මතකය ජපන් ජාතිකයෝ හැඟුම්බර ලෙස සැමරූහ.

ඇමෙරිකාව ජපානයට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ලකැර දැන් වසර 70ක් ගතවී ඇත. 1945 අගෝස්තු මස 06 දා ජපානයේ හිරෝෂිමා නගරයටත්, අගෝස්තු 09 දා නාගසාකි නගරයටත් එල්ලවූ ප්‍රහාරයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මියගියහ. බොහෝ දෙනකු දැන් කතා කරන්නේ හිරෝෂිමා ප්‍රහාරය සිහිපත් කරමිනි. ජපානය පවා පවසන්නේ නාගසාකි නගරයට එල්ල වූ ප්‍රහාරය හිරෝෂිමා ප්‍රහාරය නිසා අමතකව ගොස් ඇති බවයි. නාගසාකි නගරයේ දී මේ ප්‍රහාරය අනුස්මරණය කළ ජපන් බලධාරීන් කියා සිටියේ බෝම්බය එල්ල කළ මොහොතේම 70,000ක් මියගිය බවයි. මේ උත්සවයට ඇමෙරිකා තානාපති ඇතුළු රටවල් 75ක නියෝජිතයෝ සහභාගී වී සිටියහ. ජපන් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි.

නාගසාකි නගරයට බෝම්බය හෙළන ලද පෙරවරු 11.02ට විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වා නාගසාකි නගරාධිපති සාම ප්‍රකාශය කියවූයේය. මේ ප්‍රහාරයෙන් දිවි ගලවාගත් දැනට 86 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු ඒ ප්‍රහාරය සිදුවූ ආකාරයත් ඉන් වේදනා විඳි ආකාරයත් කීවේය.

ප්ලූටෝනියම් යොදා සකස් කරන ලද නාගසාකි පරමාණු බෝම්බය හිරෝෂිමාවට එල්ල කළ පරමාණු බෝම්බයටත් වඩා දරුණු විනාශකාරී බෝම්බයක් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් එවා තිබූ නිවේදනයේ දැක්වූයේ තවදුරටත් ලෝකයේ න්‍යෂ්ඨික අවි භාවිතා නොකරන බවයි. මිනිසුන් පාලනය කිරීමට එවැනි දරුණු අවි භාවිතා කිරීම නවතා දැමීමටත් මානවවාදී ක්‍රියාකාරකම්වල ප්‍රතිවිපාක මීට වඩා බොහෝ උසස් හා ඉහළ තලයකට ගෙනඒමට අපේක්ෂා කරන බව ද ඔහුගේ නිවේදනයේ දැක්විණි.

_84766561_028485740-1 _84766709_001468749-1 _84766862_028482456-1 _84767376_028494484-1 - Copy _84767477_028495320-1 _84767481_028495452-1