පුද්ගලයින් 54 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබියදී අතුරුදන්වූ ඉන්දුනීසියා ගුවන්යානය අනතුරකට මුහුණපා විනාශවී ඇති බව එරට ප‍්‍රවාහන බළධරයින් සනාථ කර තිබේ.

යානයේ සුන්බුන් මේ වන විටදී සොයාගැනීමටද හැකිව ඇතැයි සඳහන්ය.සුන්බුන් හමුව ඇති බව පැවසෙන්නේ ඉන්දුනීසියාවේ බින්ග්ටැන්ග් දිස්ති‍්‍රක්කයේ ඔක්බාපේ නම් ප‍්‍රදේශයකිනි.මෙම ප‍්‍රදේශය කඳුගැට වලින් ගහණය.

යානය අතුරුදන්වූහාම පළවූ මාධ්‍ය වාර්තා කිහිපයකම ඔක්බාපේ ප‍්‍රදේශයේ වැසියන් ගුවන්යානයක් ඉතා පහළින් පියාසර කරනු දුටු බව පැවසීයැයි සඳහන් කර තිබුණි.

යානය අනතුරට පත්වන අවස්ථාවේ එම ප‍්‍රදේශයේ තිබී ඇත්තේ අධික වැසි හා තද සුළං සහිත ඉතාම අයහපත් කාලගුණ තත්ත්වයකි.

මෙම යානය කෙටි ගුවන්ගමන් සදහා යොදවා තිබුණකි.අනතුරට ලක්නොවුනේ නම් තවත් විනාඩි 9 කදී එය ගොඩබැස්වීමට නියමිතව තිබුණු බව ඉන්දුනීසියා බළධරයින් පවසයි.

කාලගුණ තත්ත්වය යහපත්වූ වහා යානයේ ඉතිරි කොටස් හා ගමන් කළවුන් සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ඔවුන් කියයි.