මැලේසියාවේ අතුරුදන්වූ එම් එච් 370 යානය එහි ගුවන් නියමුවා විසින් සිතා මතා මුහුදට පැදවූ බවට සාධක ඇති බවට අනතුර සම්බන්ධ විමර්ශන කමිටුවේ විශේෂඥයකු හෙළිකර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

200 දෙනකුගෙන් යුත් විශේෂ විමර්ශන කණ්ඩායමේ නායක ලැරී වෑන්ස් එසේ ප්‍රකාශ කර ඇති අතර දැනට හමුවී ඇති යානයේ සුන්බුන් කොටස් පරීක්ෂා කිරීමෙන් පසු එම නිගමනයට එළැඹ ඇතැයි ඔහු කියා ඇත.

2014 මාර්තු මාසයේ දී ක්වාලාලාම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා එම යානය මගීන් 239 දෙනකු සමග පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ අතර එහි සුන්බුන් බවට සැක කරන කොටස් පසුගිය මාස කිහිපයක දී සාගරයේ තිබී සොයා ගැනිණි.

මෙම කරුණු මෙතෙක් තහවුරු කරගෙන නැති බවත් යානය අතුරුදන්වන මොහොත දක්වා එහි පාලනය ගුවන් නියමුවා අත පැවතියේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවද විශේෂ විමර්ශන කමිටුව කියයි.