පාර්ලිමේන්තුව සති පහකට කල් තැබීමට බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ගත් තීරණය නීතිවිරෝධී යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 11 දෙනකුගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් ඒකමතිකව එම තීන්දුව දුන්නේය.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කළේ යැයි යැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළ අතර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තිබෙන මොහොතක අගමැතිවරයාගේ තීරණය නීතිවිරෝධී සහ පාර්ලිමේන්තුවට වගකීමෙන් බැහැර වීමට ගන්නා ලද උත්සහායක් යැයි ද  ස්කොට්ලන්තයේ ඉහළම සිවිල් අධිකරණය පසුගියදා තීන්දු කළේය.

එම තීන්දුවට එරෙහිව බ්‍රිතාන්‍ය ආණ්ඩුව අභියාචනයක් ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (24) විභාගයට ගැනුණේ එම අභියාචනයයි.

“ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට සිදු වූ බලපෑම ඉතා ප්‍රබල” යැයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එක්සත් රාජධානියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සභාපති ලේඩි හේල් මහත්මිය සඳහන් කළාය.

“කිසිදු සාධාරණ හේතුවකින් තොරව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කටයුතු කරගෙන යෑමට තිබෙන හැකියාව නවත්වමින් පාර්ලිමේන්තු සැසිය අවසන් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී බවට මහ රැජිණට දැනුම් දෙන බව” ල්ඩි හේල් මහත්මිය ප්‍රකාශ කළාය.

තීන්දුවට කිසි ලෙසකින් වත් එකඟ නොවන නමුත් ඊට ගරු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පැවැසීය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සමඟ බොරිස් ජොන්සන්ට බි්‍රතාන්‍ය අගමැති ධුරය අහිමි වීමේ අවදානමක් ද හටගෙන තිබේ.

ඒ.එෆ්.පී/බී.බී.සී. ඇසුරිනි/රොයිටර්ස්

055