
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ යුද්ධය ආරම්භ වී ගතවුණු මාස දෙකක කාලය ඇතුළත, ඉරානය 21 දෙනකුට ලබා දුන් මරණ දඬුවම් ක්‍රියාත්මක කර ඇති බවත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි චෝදනා නගමින්, 4,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක්, ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේ ඉකුත් ජනවාරි මාසයේ පැවැති විරෝධතාවලට සම්බන්ධ වූ නව දෙනකු, විපක්ෂ කණ්ඩායම්වල සාමාජිකත්වය දැරූ 10 දෙනකු සහ ඔත්තු බැලීමේ චෝදනා ලැබූ දෙදෙනකු මෙලෙස මරණ දඬුවමට ලක්වූවන් අතර සිටින බවය.
පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන බලධාරීන් එරට ජනතාවගේ අයිතිවාසිකම් අමානුෂික ලෙස මර්දනය කිරීම සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට පත්වන බව ද මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් අවධාරණය කළේය.
වහාම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසත්, අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින පිරිස් නිදහස් කරන ලෙසත් ඔහු ඉරාන රජයෙන් ඉල්ලීමක් ද කළේය.
නෝර්වේ කේන්ද්‍රකොටගත් 'ඉරාන මානව හිමිකම් සංවිධානය' පවසන පරිදි ඉකුත් අප්‍රේල් 8 වැනිදා සටන් විරාමය ආරම්භ වීමෙන් පසුව ද අවම වශයෙන් පුද්ගලයින් 767 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් බොහෝ දෙනෙකු වධහිංසාවලට ලක් කිරීම, අතුරුදන් කිරීම සහ බලහත්කාරයෙන් පාපොච්ඡාරණ ලබා ගැනීම වැනි කෲරත්වයන්ට ලක්ව ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත. විශේෂයෙන්ම සුළු ජාතික හා ආගමික කණ්ඩායම් වැඩි අවදානමකට ලක්ව ඇති බවත්, මානව හිමිකම් නීතිඥ නස්රින් සටූඩේ ඇතුළු පිරිසක් රඳවා සිටින ස්ථානයක් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැහැදිලි කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd