කොංගෝ රටින් හිස එසවූ නව ඉබෝලා වයිරස ප්‍රභේදයට, සාර්ථක එන්නතක් නිපදවීමට තම විද්‍යාඥයන් සමත් ව ඇතැයි දකුණු අප්‍රිකාවේ රුසියන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

දකුණු අප්‍රිකාවේ රුසියන් තානාපති කාර්යාලය මෙසේ නිවේදනය කළේ රුසියන් සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ කළ ප්‍රකාශයක් උපුටා දක්වමිනි. 

රුසියන් සෞඛ්‍ය අමාත්‍යවරයා විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, ගෝලීය වශයෙන් සෞඛ්‍ය අවධානමක් ඇති කරමින්, කොංගෝවේ සහ සල්වැසි උගන්ඩාවේ පැතිරෙන ‘බුණ්ඩිබොගෝයෝ’ නමැති ඉබෝලා ප්‍රභේදය සාර්ථකව අඩපණ කිරීමට රුසියන් විදයාඥයන් සමත් වී ඇති බවය.

මීට පෙර, පසුගිය වසර 40 ක කාලයේ, විටින් විට අප්‍රිකා රටවලින් හිස එසවූයේ ‘සයිරේ’ නමැති ප්‍රභේදයයි. ‘සයිරේ’ යනු අතීතයේ කොංගෝ රාජ්‍යය බොහැඳින්වූ නාමයයි. ‘සයිරේ’ වයිරස ප්‍රභේදයට සාර්ථක එන්නතක් මේ වනවිටත් නිපදවා ඇත.

කෙසේ නමුත් පසුගිය දා ඉබෝලා වසංගත තත්ත්වයක් ඇති කිරීමට හේතුවක් වූ ‘බුණ්ඩිබොගෝයෝ’ ප්‍රභේදයට මෙතෙක් එන්නතක් නොතිබුණු අතර, ‘සයිරේ’ ප්‍රභේදයට නිපදවුණු එන්නත ‘බුණ්ඩිබොගෝයෝ’ ප්‍රභේදයට සාර්ථක ප්‍රතිචාර දැක්වීමක් නොකරන බව ද පැවැසිණි. ඊට හේතුව, ‘සයිරේ’ ප්‍රභේදයට වඩා ‘බුණ්ඩිබොගෝයෝ’ ප්‍රභේදය විකෘතිකරණයට ලක් වීම යැයි ද පැවැසෙයි.

‘බුණ්ඩිබොගෝයෝ’ ප්‍රභේදය ආසාදනය වී මියගිය ගණන 200 කට වැඩි යැයි පැවැසෙයි. දහසකට වැඩි ආසාදිතයන් පිරිසක් සිටින බව සෞඛ්‍ය බලධාරීහු පවසති. මේ වනවිට කොංගෝ සහ උගන්ඩායන රටවල දේශසීමා ද වසා දැමීමට දෙරටේ බලධාරීන් පියවර ගෙන ඇත. ඒ, වයිරස ව්‍යාප්තිය සීමා කිරීමේ අරමුණින්ය.