IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ක්‍රිකට් ක්‍රීඩාවට ආගම පටලවන අශිෂ්ටයෝ

ජාතික ක්‍රීඩාව නොවූවද මේ රටේ ජනප්‍රියම ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාවය. 1996 ලෝක කුසලාන ජයග්‍රහණයත් සමග ගම් දනව් නගර ජනපද සිසාරා ගංවතුරක් මෙන් ක්‍රිකට් ක්‍රීඩාව පැතිර ගියේය. අර්ජුන, අරවින්ද, සනත්, මුරලි මෙන්ම මහේල, සංගක්කාර හා මාලිංග ඇතුළු ක්‍රීඩකයෝ ලෝක සිතියමේ ඇබැටක් තරම්වන පුංචි රට විශ්වයේ මුදුනතටම රැගෙන ගියහ. ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඕනෑම පුරවැසියකුට අභිමානයෙන් යුතුව ලෝකයත් සමග ගනුදෙනු කිරීමට හැකි විය.

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාව මුල් යුගයේ දී මාන්නාධික ධනවතුන්ගේ ක්‍රීඩාවක් බවට පත්ව තිබිණි. එය සුපිරි පැළැන්තියේ ක්‍රීඩාවක් විය. කොළඹ සුපිරි ක්‍රීඩා සමාජ කිහිපයකටත් කොළඹ නම් දැරූ පාසල් කිහිපයකටත් පමණක් ක්‍රිකට් ක්‍රීඩාව සීමා වී තිබිණි. ජාතික කණ්ඩායමට එක්වීමට නම් දැරූ පාසලක ඉගෙනගෙන තිබීමත් සුපිරි ක්‍රීඩා සමාජයක සාමාජිකයකුවීමත් අනිවාර්ය විය.

මේ බැමි පුපුරුවා හැරියේ සනත් ජයසූරිය ඇතුළු කොළඹට කිලෝ මීටර් සිය ගණනක් ඈත පිහිටි ගම් දනව්වලින් බිහි වූ ක්‍රීඩකයෝය. එය කොතෙක් ද යත් 1996 ලෝක කුසලාන තරගාවලියේ දී ලොව අගනාම ක්‍රීඩකයා වශයෙන් පිදුම් ලැබුවේ ඓතිහාසික රෝහණ දේශයේ මාතර උපන් සනත් ජයසූරිය වේ.

එතැන් පටන් දක්ෂතා ඇති ක්‍රිකට් ක්‍රීඩකයකුනම් ගම-නගර වෙනසකින් තොරව දුප්පත්-පොහොසත් බේදයකින් තොරව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වීමේ අවස්ථාව විවර විය. අද දවසේ ඉන්දියාවත් සමග එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගි වී සිටින්නේ රටපුරාම පිරා සොයාගත් කොල්ලන් ටිකකි. එය එක් අතකින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රජාතන්ත්‍රවාදය හිමිවීම ලෙස ද අර්ථ දැක්විය හැකිය.

කරුණු කාරණා එපරිදි වුවද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අද අසන්නට ලැබෙන්නේ අමුතුම කතාවකි. පසුගිය ඔක්තෝබර් මාසයේදී ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සමයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා ක්‍රිකට් පරිපාලනයට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ පංච පුද්ගල කමිටුවක් පත් කළේය.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ සභාපතිත්වයෙන් යුතු වූ එම කමිටුවේ සෙසු සාමාජිකයෝ විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් කිංග්ස්ලි ප්‍රනාන්දු, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක නලින් ද අල්විස් වූහ. එම කමිටු වාර්තාව ඉකුත් දා ඇමැතිවරයාට බාර දුන් අතර එහි අඩංගු තොරතුරු ඇඟලොමු ඩැහැගන්වන තරම්ය.

ක්‍රිකට් බලධාරීන්ගේ වංචා දූෂණ නාස්තිය සම්බන්ධ තොරතුරු ද ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධ තොරතුරු ද එම වාර්තාවේ සඳහන්ය. මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ එම කමිටු වාර්තාවේ එක් නිර්දේශයක් සම්බන්ධයෙනි. එම නිර්දේශය නම් ‘‘බෝන් අගේන් ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් බලපෑමක් සිදු වී ඇද්ද? යන්න නිශ්චිතවම නිගමනය කළ නොහැක. එසේ වුවද බෝන් අගේන් ආගම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේ දී බලපෑම් ඇතිවීමට ඉඩ ඇති බවට නිරීක්ෂණය වන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුය’’ යන්නය.

මේ රටේ සාතිශය බහුතරක් ජනයා සිංහල බෞද්ධයෝ වෙති. එහෙත් රට ජාතිය නියෝජනය කිරීමට සිංහල බෞද්ධවීම විශේෂ සුදුසු කමක් ලෙස කොතැනක හෝ අවධාරණය වී නැත. 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ අර්ජුන, අරවින්ද, මෙන්ම මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස් මෙන්ම රොමේෂ් කළුවිතාරණ ද සිටියහ. ජාත්‍යන්තර මට්ටමට හැකියාව දියුණු කරගත්තේ නම් ජාතිකත්වය ආගමිකත්වය බාධාවක් කර නොගෙන ජාතික කණ්ඩායමට එක්වීමේ හැකියාව තිබිණි.

ඉකුත් සමයේ වාර්තා වූයේ ජාතික කණ්ඩායමට එක්වීමට නම්  හා කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමට නම් කිසියම් ආගමක් වැළඳ ගත යුතු බවට බරපතළ බලපෑමක් එල්ලවන බවය. තමන් කණ්ඩායමට එක්වීම සඳහාම එම ආගම වැළඳගත් බව ඇතැම් ක්‍රීඩකයන් පංච පුද්ගල කමිටුව හමුවේ සාක්ෂි ලබාදී ඇති බවද මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එමෙන්ම එම බලපෑම්වලට යටත් නොවීම නිසා ඇතැම් දක්ෂ ක්‍රීඩකයන් කණ්ඩායමෙන් කැපීගිය බවද එසේ කැපීගිය ක්‍රීඩකයන් අතර හිටපු ක්‍රිකට් නායකයකු සිටින බව ද ප්‍රසිද්ධ රහසකි.

ආගම අතිශයින්ම පෞද්ගලිකය. තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පුරවැසියාට පවරා තිබේ.  එහෙත් තම අරමුණු ඉටු කර ගැනීම සඳහා ආගම පළිහක් ලෙස යෙදා ගන්නේ නම් එය වූ කලී මේ සියවසට නොගැළපෙන අශිෂ්ට මෙන්ම ම්ලේච්ඡ ක්‍රියාවකි.

(***)



අදහස් (1)

ක්‍රිකට් ක්‍රීඩාවට ආගම පටලවන අශිෂ්ටයෝ

Kumar )Gulf) Sunday, 15 January 2023 11:42 PM

නයිට් ක්ලබ්, ගණිකාවන්, ඇල්කොහොල්, පිරිත් නූල්, දැනට ලෝක නරකම ක්‍රිකට් කණ්ඩායම.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site