IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


එදා මෙදා හඳ ගමනේ ඉතිහාසය

ඉන්දියාව සඳ ඇල්ලුවේය. එය එසේ මෙසේ වික්‍රමයක් නොවෙයි. ඉන්දීය අභ්‍යවකාශ පර් යේෂණ ඒකකයේ විද්‍යාඥයන්, ඔවුන්ගේ තාක්ෂණයෙන් නිපදවා, ඔවුන්ගේම රොකට්ටුවකින් සඳට යැවුණු ‘චන්ද්‍රයාන් 3’ චන්ද්‍ර යානය සෙමින් සෙමින් සඳට පතිත කළේ පෙරේදා (23) සවස 6.04 ටය.

සෝවියට් දේශය, ඇමෙරිකාව සහ චීනයට පසු, රොබෝ යානයක් සඳට පතිත කළ සිවුවැනි රට ඉන්දියාවය. ‘චන්ද්‍රයාන් 3’ යානය පතිත කළේ සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකටය. සඳුගේ ‘අඳුරු කලාපය’ යනුවෙන් හැඳින්වෙන්නේ මීට පෙර ගවේෂණයට ලක් නොවුණු මෙම කලාපයයි. සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට රොබෝ යානයක් පතිත කිරීමට මීට පෙර කිසිවෙක් සමත් වී නොසිටියේය. ඒ අනුව, පළමුවෙන් සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට රොබෝ යානයක් පතිත කළේ අප අසල්වැසි ඉන්දියාව වීම ආඩම්බරයකි.

නිරවි යුද සමයේ, ප්‍රතිවාදීන් වූ ඇමෙරිකාවත් සෝවියට් සමූහාණ්ඩුවත් එකිනෙකාට අවි අමෝරා ගනිද්දී, අභ්‍යවකාශය ජය ගැනීම සහ ස‍ඳ තරණය වෙනුවෙන් තරගයක් පැවැතිණි. සෝවියට් දේශය සහ ඇමෙරිකාව එකිනෙකාට නොදෙවැනි අයුරින් ජයග්‍රහණ අත්පත් කර ගත්තේය.

පළමුවෙන් චන්ද්‍රිකාවක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැව්වේ සෝවියට් දේශයයි. ඒ, 1957 ඔක්තෝබර් 4 වැනිදාය. ‘ලයිකා’ යනු පළමුවෙන් අභ්‍යවකාශයට ගිය බැල්ලය. ‘ලයිකා’ අභ්‍යවකාශයට යැවීම කළේ ද සෝවියට් දේශයයි. ඒ, 1957 නොවැම්බර් 3 වැනිදාය. පළමුවෙන් අභ්‍යවකාශයට ගිය පුද්ගලයා සෝවියට් ගගනගාමී යූරි ගගාරීන්ය. ඒ, 1961 වසරේ අප්‍රේල් 12 වැනිදාය. ‘ලයිකා’ බැල්ල මෙන් නොව, ගගාරීන් නිරුපද්‍රිතව ආපසු පෘථිවියට ගෙන්වා ගැනීමට සෝවියට්වරු සමත් වූහ. ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය පිහිට වූයේ මිනිසකු සඳට යැවීමේ අරමුණින්ය.

1969 නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ චන්ද්‍ර මෙහෙයුම යටතේ පළමුවෙන් සඳට පය තැබුවේ නීල් ආම්ස්ට්‍රෝං ය. සෝවියට් සමූහාණ්ඩුව පරදවමින්, සඳට ගගනගාමීන් යැවීමට ඇමෙරිකාව සමත් වීමත් සමග අභ්‍යවකාශය සහ සඳ ජය ගැනීම වෙනුවෙන් පැවැති තරගය නිමා විය.

පසුගිය දා, ප්‍රතිවාදීන් නොවුණත්, රුසියාව සහ ඉන්දියාව අතරේ ද සඳ ජය ගැනීම වෙනුවෙන් තරගයක් පැවැත්විණි. ඒ පළමු වරට සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට රොබෝ යානයක් පතිත කිරීමටය. රුසියාව සහ ඉන්දියාව මෙම තරගය ආරම්භ කළේ එකිනෙකාගේ ජයග්‍රහණ වෙනුවෙන් සුබ පතමිනි.

තරගය ඇරැඹුණේ ඉන්දීය ගගන පර් යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ යානය පසුගිය ජූලි 14 වැනිදා සඳ බලා යැවීමෙනි. ‘චන්ද්‍රයාන් 3’ පෘථිවි කක්ෂයට තල්ලු කළේ ඉන්දියාවේ නිෂ්පාදිත ‘බාහුබලී’ රොකට්ටුවය. අභ්‍යවකාශයට ගොස් පළමුවෙන් පෘථිවි කක්ෂයේ කැරැකෙන්න වූ ‘චන්ද්‍රයාන් 3’ යානය, සඳ වෙත ගොස්, සඳුගේ කක්ෂයට පිවිසියේ අගෝස්තු 5 වැනිදාය.

සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු රුසියාව, අභ්‍යවකාශ කටයුතුවල නියැලෙන්නේ ‘රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය හරහාය. රුසියානු ‘රොස්කොස්මොස්’ ආයතනය, ඔවුන්ගේ ‘ලූනා 25’ රොබෝ යානය සඳට යැවීම කළේ පසුගිය අගෝස්තු 11 වැනිදාය. ඒ, රුසියාවේ ‘සෝයූස්’ රොකට්ටුවක ආධාරයෙනි.

සෝයූස්, ඉන්දියාවේ ‘බාහුබලී’ රොකට්ටුවට වඩා ප්‍රබලය. ‘සෝයූස්’ රොකට්ටුවෙන් මිදුණු ‘ලූනා 25’ පසුගිය 21 වැනිදා සඳුගේ දක්ෂිණ ධ්‍රැවයට පතිත කිරීමට නියමිතව තිබුණි. අවාසනාවකට, ගොඩබෑමට සූදානම් වෙද්දී, ‘ලූනා 25’ සඳට කඩා වැටුණි. වසර 47 කට පසු යළි සඳට රොබෝ යානයක් යැවීමට ගත් උත්සාහය අසාර්ථක විය.

විශ්වය ගවේෂණයට යැවෙන රොබෝ යානා වර්ග 3 කි. කක්ෂගත වී ගවේෂණ කටයුතු කරන යානා කක්ෂීය යානා වන අතර, ‘වික්‍රම්’ මෙන් ගොඩ බැසීමක් කර, එම ස්ථානයේ සිට ගවේෂණ කටයුතු කරන යානා, පතිත කරවන යානාය. ගොඩබැසීමක් කර එහෙ මෙහෙ යමින් ගවේෂණ කටයුතුවල යෙදෙන රෝද සහිත රොබෝ යානා හැඳින්වෙන්‌නේ ‘රෝවර්’ යනුවෙනි.

‘චන්ද්‍රයාන් 3 වික්‍රම්’ රොබෝ යානය ද මවු යානයක් වැනිය. ඒ තුළ තවත් කුඩා යානයකි. ‘ප්‍රාග්යාන්’ නමැති මෙය කුඩා රෝවරයකි. ‘වික්‍රම්’ යානය සෙමින් සෙමින් සඳට ගොඩ බැසීම සිදු කෙරුණේ ඊට සවි කර ඇති සංවේදක සහ කැමරා ආධාරයෙනි. ‘ලේසර් ඩොප්ලර් වෙලොසිමීටර්’ යනු එම සංවේදක පද්ධතියේ එක් ප්‍රධාන උපාංගයයි.

‘ප්‍රාග්යාන්’ රෝවර් යානය කිලෝ ග්‍රෑම් 26 ක ස්කන්ධය ඇති කුඩා එකකි. මෙහි ප්‍රධාන විද්‍යාත්මක උපකරණ දෙකකි. ඒවායින්, සඳුගේ පාෂාණවල රසායනික සංයුතිය අධ්‍යයනය කිරීම මේ වනවිට ආරම්භ වී ඇත. ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සාර්ථකව, ‘වික්‍රම්’ යානයෙන් පිටතට ආ බව ඊයේ (24) වාර්තා විය.

‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානාවලට බලය සැපයෙන්නේ ඒවායේ සූර්ය පැනල්වලිනි. ‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානා ඇතුළු ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුමට ඉන්දියාව වැය කළ මුදල ඉන්දිය රුපියල් කෝටි 600 කි. ‘වික්‍රම’ යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය, මාසයක් සහ දින 9 ක් ක්‍රියාකාරීව, අදාළ මෙහෙයුම්වල නියැලෙනු ඇතැයි ද පැවැසෙයි.

මෙහෙයුම් කාලය නිමා වූ පසු ‘වික්‍රම්’ සහ ‘ප්‍රාග්යාන්’ යානා අතහැර දැමෙනු ඇත. සඳුගේ දක්ෂිණ ධ්‍රැවය හෙවත් අඳුරු කලාපයේ වටිනා ඛනිජ ද්‍රව්‍ය සහ මිදුණු ජලය ඇතැයි විශ්වාස කෙරේ. ඒවා ගවේෂණය, ‘වික්‍රම’ යානයේත් ‘ප්‍රාග්යාන්’ රොබෝ රෝවරයේත් අරමුණය.

ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඇපලෝ 11’ මෙහෙයුම යටතේ, මිනිසා සඳට පය තැබූ අවස්ථාවේ, සඳ වායුගෝලයක් නැති, නිසල, නිසරු දුවිලි සහ පස් පිරුණු තැනක් බව පෙනුණි. එහෙත් 2008 වසරේ දී සඳ සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදු කෙරුණි. එම අනාවරණය කළේ ඉන්දීය විද්‍යාඥයෝ.

ඉන්දීය විද්‍යාඥයන්, මෙම අනාවරණය කළෝ ඔවුන්ගේ තාක්ෂණයෙන්, ඔවුන් විසින්ම නිපද වූ රොබෝ කක්ෂීය යානයක් සඳුගේ කක්ෂයට යැවීමෙනි. මේ යානය ‘චන්ද්‍රයාන් 1’ ය. 2008 ඔක්තෝබර් 22 වැනිදා ඉතා සාර්ථකව පෘථිවියෙන් පිටත් වූ ‘චන්ද්‍රයාන් 1’, සඳුගේ කක්ෂයට ඇතුළු විය. ‘චන්ද්‍රයාන් 1’ සඳ මතුපිට ‘ස්කෑන්’ කළේය. සඳුගේ පස්වල ද්‍රව ජල අංශු ඇති බව එයින් පැහැදිලි විය.

මෙය ඉතා වැදගත් සොයා ගැනීමකි. නාසා විද්‍යාඥයන් පවා මවිත කිරීමට ද එය සමත් විය.  ‘චන්ද්‍රයාන් 1’ මෙහෙයුම අවසන් වූයේ 2009 වසරේ අගෝස්තු 28 වැනිදාය. ඉන්දීය විද්‍යාඥයන් හිතාමතා, ‘චන්ද්‍රයාන් 1’ විනාශ කළේ, එය සඳ මතට කඩා වැටෙන්න සලස්වමිනි. චන්ද්‍රයාන් 1’ මෙහෙයුමෙන් පන්නරයක් ලැබූ ඉන්දීය අභ්‍යවකාශ පරීක්ෂණ ආයතනය, 2019 වසරේ, අසාර්ථක වූ ‘චන්ද්‍රයාන් 2’ රොබෝ යානය සඳට යැවීය.

‘චන්ද්‍රයාන් 2’ යානයට ද ‘වික්‍රම්’ නමින් ලෑන්ඩරයක් තිබුණි. සඳට ගොඩ බෑමට උත්සාහ කරද්දී  ‘වික්‍රම්’ සඳට කඩා වැටුණි. මෙහෙයුම අසාර්ථක විය. ඉන්දීය විද්‍යාඥයන්, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම සාර්ථක කර ගත්තේ ‘චන්ද්‍රයාන් 2’  මෙහෙයුමේ දී සිදුවුණු දෝෂ තේරුම් ගනිමින්, ඒවා නිවැරදි කරමිනි.

ලුසිත ජයමාන්න



අදහස් (2)

එදා මෙදා හඳ ගමනේ ඉතිහාසය

randil dunuwille Friday, 25 August 2023 11:34 AM

ඉතා අනර්ඝ ලිපියකි. බෙහෙවින් ස්තුතියි. ඒත් සමහරුන්ට අනුව ඇමෙරිකන් කාරයාට විතරයි හඳට යන්න පුළුවන්.. නැතිනම් රුසියන් කාරයින්ට විතරයි ඉන්දියාව ගියාම ජෝක්, පෘථිවි වැසියෙක් විදිහට හරිම ආඩම්බරයි.

:       2       24

චන්දිම ෆොන්සේකා Friday, 25 August 2023 03:06 PM

ඉන්දියාවේ මේ කරන ලද සියලු මෙහෙයුම් වලට වියදම් වෙලා තියෙන්නේ ඩොලර් මිලියන දෙසිය ගණනක්ලු. අපේ රටේ එකපාරම වගේ ඩොලර් මිලියන 326ක් වියදම් කරලා යවාපු සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට මොකද වුනේ කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක යැව්වයි කියන හම්බන්තොට මැදමුලන පැත්තේ කොණ්ඩය දිගට වවා ගත්තු මහා අමුතු පෙනුමක් තියෙන මිනිහෙක් ඒක සැරයක් කිව්වා.. එයා විතරලු ලංකාවේ ඉන්න එකම රොකට් විද්වතා ඒ සැටලයි, එකටයි සල්ලි වලටයි වෙච්චි දේ අපිට කිව්වාට තේරුම් ගන්න අපිට බැරිලු... ඒක තේරුම් ගන්න නම් ඒ විෂය එයා වගේ කොහෙද ගිහින් හොඳට ඉගෙන ගෙන එන්න ඕනෑය කියලා. පාර්ලිමේන්තුවේ සියඹලාපිටි මහත්තයාත් ඒ කාලේ කියලා තියෙනවා.. ඔය සුප්‍රීම් සැට් වැඩේ හරිම හොඳ වැඩක්ය.. එකෙන් රට හොඳට දියුණු වෙනවා කියලා. ආන්න හැන්සාඩ් වලත් තියෙනවාලු. අපිත් ඉතින් අනේ ඔව්වා අහගෙන ඔහේ ඉන්නවා ඉතින් මොනවා කරන්නද අපිට තියෙන්නේ දෙන දෙයක් කාලා කියන දෙයක් ඔහේ අහගෙන ඉඳලා ඕවායේ ණය ගෙවන්න තියෙනවා නම් ඒවාත් ගෙවලා මැරෙන කාලෙක මැරිලා යන්නයි. අපිට ඉතින් ඕවා වෙනස් කරන්න ඇහැකියි?

:       2       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 127 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2043 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1570 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site