මහාචාර්ය හිරාන් අමරසේකර
ඩිජිටල් සහ සන්නිවේදන අධ්‍යක්ෂක
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
2025 ඇස්තමේන්තුව අනුව ලොව පුරා බිලියන 5.3 ප්‍රමාණයක් AI තාක්ෂණය විවිධ අයුරින් භාවිත කර තිබෙනවා. මෙය සතියකට මිලියන සියයක පමණ ප්‍රමාණයක්. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ AI තාක්ෂණය වැළඳ ගැනීමේ ප්‍රමාණය තවමත් සියයට දෙකක තරම්වත් නැත.
AI තාක්ෂණය වැළඳ ගැනීම අතින් ශ්‍රී ලාංකිකයන් සිටින්නේ පසුපසින්. මීට ප්‍රධාන හේතු කිහිපයක් වී ඇත. ChatGPT වැනි බොහෝ AI මෙවලම්වලට අප බසෙහි පවතින නුවන්සය (සියුම් භාෂාමය වෙනස්කම්) හදුනා ගැනීමට නොහැකි වීම, සිංහල පුහුණු දත්ත (training data) Reddit වැනි වෙබ් අඩවිවල ඉතා සීමිත වීම, සමහර විකිපීඩියා අන්තර්ගතයේ නිරවද්‍යතාව ප්‍රශ්නාර්ථ වීම, මෙන්ම බොහෝ සිංහල ලේඛන සහ පොත් අන්තර්ජාලයේ නොමිලේ ලබා ගත නොහැකි වීම නිසා AI පද්ධතිවලට සිංහල භාෂාව නිසියාකාරව ඉගෙන ගැනීමට අපහසු වී තිබේ.
කෙසේ වෙතත්, AI තාක්ෂණය නිවැරදිව භාවිතා කරන්නේ නම්, එය ඔබගේ ජීවිතය වෙනස් කළ හැකි බලවත් මෙවලමකි. මෙම ලිපිය හරහා AI තාක්ෂණය ව්‍යාපාර, අධ්‍යාපනය, සහ පෞද්ගලික සංවර්ධනය සඳහා භාවිත කරන ආකාරය පිළිබඳව විස්තරාත්මකව දැනගනිමු.
AI ව්‍යාපාරික ක්ෂේත්‍රයේ භාවිතය
ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන තවමත් සම්පූර්ණයෙන්ම ඩිජිටල් වී නැත. AI තාක්ෂණය භාවිතා කිරීමට අදාළ ආයතනය මුලින්ම ඩිජිටල්කරණය විය යුතුයි. මෙයින් අදහස් වන්නේ ඔබේ ව්‍යාපාරික ක්‍රියාවලීන්, දත්ත, සහ සන්නිවේදනය පරිගණක පද්ධති හරහා පවත්වාගෙන යාමයි.
මෙහිදී විවිධ system සැකසීම හරහා වෙළඳ දැන්වීම් නිර්මාණය කර ගැනීම සහ ඔබගේ ඊමේල් සඳහා පිළිතුරු ලිවීම ChatGPT, Claude වැනි මෙවලම් භාවිත කළ හැකියි. එමෙන්ම Facebook post සඳහා වෙළඳ දැන්වීම් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය රූප නිර්මාණය සඳහාද, සමාජ මාධ්‍ය දැන්වීම් සඳහාද Google Gemini Nano Banana ඉතාමත් ජනප්‍රිය AI තාක්ෂණික මෙවලමක් ලෙස භාවිතා කළ හැකියි.
ඔබට ආරම්භ කළ හැකි ව්‍යාපාර පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම සඳහාද මෙම AI තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාව තිබේ. උදාහරණයක් ලෙස "මා සතුව [...] කුසලතාවයක් ඇත එමගින් මට ආරම්භ කළ හැකි ව්‍යාපාරික අදහස් දහයක් සම්පූර්ණ විස්තරයක් සමග දෙන්න" ලෙසින් ඔබට ChatGPT හරහා ප්‍රශ්නයක් යොමු කර ඊට අදාළ සවිස්තරාත්මක පිළිතුරක් බොහොම පැහැදිලිවත්, නිවැරදිවත් දැන ගත හැකියි.
ව්‍යවසායකයන්ට අවශ්‍ය අදහස් මේ හරහා ලබා ගත හැකි අතර නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය තොරතුරු මෙන්ම පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා කළ යුතු දේවල් සම්බන්ධව අදහස් විමසීමෙන්ද උසස් මට්ටමේ සවිඥානික පිළිතුරු ලබා ගත හැකි වනු ඇත. එහිදී වෙළඳ දැන්වීම් නිර්මාණය, පාරිභෝගිකයාගේ රුචි අරුචිකම් විමසා බැලීම ආදියට ද මෙම බුද්ධිමත් සහකරුවා උපකාරී වනු ඇත.
Google Gemini හරහා රූප නිර්මාණය කර දත්ත විශ්ලේෂණ සකසා ගැනීමට ද හැකියාව තිබේ. ඔබ සතුව ඇති රැකියාවේ කුසලතා වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය නම් මෙම AI නියමුවා නිවැරදි මාර්ගය සකසා දෙනු ඇත. නව කුසලතා ඉගෙනීම, වෘත්තීය සංවර්ධනය, හා අලෙවිකරණ උපාය මාර්ග සැලසුම් කිරීම සඳහා AI උපදේශකයකු ලෙස භාවිතා කළ හැකි බව මතක තබා ගත යුතුයි.
AI අධ්‍යාපන ක්ෂේත්‍රයේ භාවිතය
විභාග සඳහා නිදිවර්ජිතව කටපාඩම් කිරීම හෝ ගිරවා දැමීම සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ මූලික ගැටළුවකි. අක්‍රිය පාඩම් කිරීමේ ක්‍රම නිසා පාඩම් දිගුකාලීනව මතකයේ රැඳී නොමැති වීම බහුතරයකගේ අත්දැකීමකි. තවද, ඇතැම් දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් ChatGPT වැනි AI tools නිසා සිසුන්ගේ චින්තන හැකියාව අඩු වන බවට සමාජයේ විවේචනයක් තිබුණත්, නිවැරදි ආකාරයෙන් භාවිතා කළහොත් AI මගින් සිසුන්ගේ චින්තන හැකියාව වර්ධනය කළ හැකි බව AI විශේෂඥයෝ පෙන්වා දෙයි.
මේ සඳහා විසඳුමක් ලෙස ChatGPT, Claude, Gemini විසින් නව "Study and Learn Mode" ක්‍රමය හඳුන්වා දී තිබේ. මෙම ක්‍රමය හරහා ඔබ ප්‍රශ්නයක් ඇසූ විට, සොක්‍රටීස් ක්‍රමයට නැවත ඔබෙන් ප්‍රශ්න විමසමින් උගන්වන සක්‍රිය අධ්‍යයන ක්‍රමයක් ක්‍රියාත්මක වේ. ChatGPT free version එකේ පහළ settings මෙනුව ඔස්සේ ගිහිල්ලා මේක activate කරගන්න පුළුවන්.
උදාහරණයක් ලෙස "මම උසස් පෙළ සිසුවෙක්. නිව්ටන්ගේ දෙවැනි නියමය පැහැදිලි කරන්න" කියලා ප්‍රශ්නයක් ඇසූ විට, සාමාන්‍ය mode එකේ කෙලින්ම පිළිතුර ලබා දෙන අතර Study mode එකේ "ඔබ වස්තුවක් චලනය කළ විට කුමක් සිදු වේවිද?" යනාදී ප්‍රශ්න නැවත ඔබෙන් අසයි. මෙමගින් ඔබේ චින්තන හැකියාව අවදි කරමින් ක්‍රමක්‍රමයෙන් ගැඹුරු කරුණු වෙත යොමු කරයි. අවසානයේදී නියමය පැහැදිලි කරමින් MCQ ප්‍රශ්න සහ සැබෑ ලෝකයේ උදාහරණ ලබා දෙයි.
කෙළින්ම පිළිතුරක් ලබාදීම වෙනුවට තමන්ගේ බුද්ධිය විමසීමෙන්, මොළය වෙහෙසීමෙන් පිළිතුරු ලබාගැනීමට උත්සාහ කිරීම නිසා ඔබගේ ඉගෙනීමේ චින්තන හැකියාව මොටවීමක් මෙහිදී සිදුවෙන්නේ නැත. මෙය Scaffold Learning නැතහොත් ක්‍රමක්‍රමයෙන් ගැඹුරු කරුණු වෙත යොමුවෙමින් ඉගෙන ගන්නා ක්‍රමයක් ලෙස හැඳින්වේ. ChatGPT memory mode එක සක්‍රිය කර ඇත්නම්, ඊළඟ වතාවේදී ඔබ උගත් කරුණු මත පදනම්ව නව කරුණු වෙත ඔබ යොමු කරයි.
Google සමාගමෙන් ඉදිරිපත් කරන NotebookLM ඔබගේ අධ්‍යාපනය සඳහා ඉතාමත් වැදගත් මෙවලමකි. පෙළ පොත් වැනි පොත් pdf, YouTube Links වැනි ප්‍රභව දමා ඒවායේ සාරාංශ ලබාගැනීම, චිත්ත සිතුවම් Mind Map ඇඳීම, මෙන්ම ශ්‍රව්‍ය හෝ video වැඩසටහනක් ජනනය කිරීමටද මෙමගින් හැකි වේ. සිංහල සහ දෙමළ භාෂා වලින් කරුණු විශ්ලේෂණය කිරීමට ද මෙයට හැකියාව ඇත.
AI හරහා රචනා ලිවීම සඳහා යොදා ගන්නා තොරතුරු ඒ ආකාරයෙන්ම බාගත කර යෙදීම බොහෝ සිසුන් අතින් සිදුවන සදාචාර සම්පන්න නොවන ක්‍රියාවකි. එවැනි අවස්ථාවල සිදු කළ යුත්තේ AI හරහා අදහස් හා දත්ත පමණක් ජනනය කර ඒවා සංවිධානය කොට තමන්ගේම වචන භාවිතයෙන් නැවත ලිවීමයි. AI විසින් ලබා දුන් අදහස් සහ යොමුව පමණක් ලෙස භාවිතා කිරීම නිවැරදි ක්‍රමයයි.
දරුවන් පරිගණක ක්‍රීඩා වලට යොමු කිරීම වෙනුවට, ඔවුන් AI තාක්ෂණය හරහා නිර්මාණාත්මක මෙවලම් වෙත යොමු කිරීම ඔවුන්ගේ අනාගතය සඳහා වඩා ප්‍රයෝජනවත් වේ. උදාහරණයක් ලෙස Suno AI හරහා සින්දු නිර්මාණය කිරීමේ හැකියාව තිබේ. මේ මහා බුද්ධිමතා ඕනෑම දරුවෙකුගේ හෝ සිසුවෙකුගේ බුද්ධිමත් ගුරුවරයෙකු බවට පත් කර ගත හැකි අතර දැනටමත් චීනය මෙන්ම ඉන්දියාව වැනි රටවලද බොහෝ විට පාසල් සිසුන් වෙනුවෙන් AI අධ්‍යාපන ක්‍රම හඳුන්වා දී තිබේ. විෂය කරුණු කටපාඩම් නොකර ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් හරහා සියලු අධ්‍යයන කටයුතු සාර්ථක කර ගැනීමට AI තාක්ෂණික මෙවලම් භාවිත කිරීමේ පහසුව සලසා ඇත.
AI ජනප්‍රිය මෙවලම්
ලොව ජනප්‍රියම AI මෙවලම වන්නේ ChatGPT. මෙය භාවිතයෙන් පාඩම් පැහැදිලි කර ගැනීම, ව්‍යාපාරික ලිපි ලිවීම, ව්‍යාපාරික අදහස් සකස් කර ගැනීම වැනි කාර්යයන් රාශියක් ඉටු කර ගත හැකි වන අතර, voice mode භාවිතයෙන් තොරතුරු විශ්ලේෂණය කිරීමේ හැකියාවද ඇත. Claude යනු ChatGPT වලට වඩා වඩාත් ස්වාභාවික ලෙස ලිපි ලිවීම, රචනා සහ Code කේතාංක ලිවීම සඳහා භාවිතා වන මෙවලමකි. යන්ත්‍රමය ලෙස නොව මානව ස්වභාවයට ආසන්න ලෙස ප්‍රතිචාර දක්වීම මෙහි ප්‍රධාන ලක්ෂණයයි.
Google සෙවුම් යන්ත්‍රය වෙනුවට භාවිත කළ හැකි ඉතා පහසු යෙදවුමක් වන්නේ Perplexity. Google හරහා වෙළඳ දැන්වීම් ප්‍රචාරය වුවත් Perplexity මගින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය නොවන අතර එය වෙබ්අඩවි රාශියක් හරහා ගොස් ඔබට ඒ අවස්ථාවේම අදාළ දේ පිළිබඳව විස්තර ලබා දෙයි. උදාහරණයක් ලෙස "මගේ පරිගණකයේ Screen Shot එකක් ලබාගන්නේ කෙසේද?" ලෙස Google වෙත පිවිස ඇසුවහොත් තවත් වෙබ්අඩවි රාශියක් ඇතුළතට ගොස් මේ පිළිබඳව දැන ගත යුතු වන අතර, Perplexity හරහා එසේ වන්නේ නැත. මේ හරහා එය සිදු කරගන්නා ආකාරය එක දෙක තුන ලෙස පියවර අනුව එම අවස්ථාවේම පැහැදිලි ක්ෂණික පිළිතුරු ලබා දෙයි. ඒ සඳහා වැඩි විස්තර අවශ්‍ය නම් පිවිසිය හැකි වෙබ්අඩවි, වීඩියෝ ආදියත් නොමිලේම ලබා දේ.
Google Gemini සිංහල භාෂාව සඳහා වඩා හොඳ ආධාරයක් සපයයි. සිංහල PDF, videos සිංහලට transcribe කිරීමට මෙන්ම ඉංග්‍රීසියට translate කිරීමටත් මෙය භාවිතා කළ හැකියි. Google NotebookLM හරහාද ඔබගේ වැඩ රාජකාරී පහසු කරවා ගැනීම සඳහා විවිධ tools තිබේ. මෙම එක් එක් මෙවලම් විශේෂයෙන් Perplexity, NotebookLM ආදිය ඔබගේ අධ්‍යයන කටයුතුවලට මෙන්ම එදිනෙදා වැඩවලටත්, ව්‍යාපාර වලටත් යොදා ගත හැකියි.
AI භාවිතයට පිවිසෙන්නේ කෙසේද? - ප්‍රායෝගික මාර්ගෝපදේශය
ChatGPT භාවිතා ආරම්භ කිරීම ඉතා පහසුයි. පළමුව chat.openai.com වෙබ් අඩවියට පිවිසෙන්න. "Sign up" බොත්තම ඔබා ඔබේ Google ගිණුම හරහා ඇතුල්වී නොමිලේ ගිණුමක් සාදා ගන්න. ජංගම දුරකථන සඳහා, Google Play Store (Android) හෝ Apple App Store (iOS) හරහා "ChatGPT" යෙදුම download කර ගන්න. යෙදුම install කළ පසු, වෙබ් අඩවියේ ඔබ සාදා ගත් ගිණුම භාවිතයෙන් login වන්න. ChatGPT mobile app හරහා voice mode භාවිතයෙන් AI සමඟ කතා කිරීමේ හැකියාවද ඇත.
පළමු ප්‍රශ්න අසන්නේ කෙසේද?
ගිණුම සාදා ගත් පසු, පහළ text box එකේ ඔබේ ප්‍රශ්නය ටයිප් කර Enter ඔබන්න. සරල ප්‍රශ්නයකින් පටන් ගන්න. උදාහරණයක් ලෙස "ඔබට මා උදව් කළ හැක්කේ කුමන ආකාරයකින්ද?" හෝ "AI භාවිතයෙන් මගේ ව්‍යාපාරය වර්ධනය කරන ආකාරය පැහැදිලි කරන්න" යනාදී ප්‍රශ්න අසන්න.
වඩාත් හොඳ පිළිතුරු සඳහා, ඔබේ පසුබිම සහ අවශ්‍යතාවය පැහැදිලිව සඳහන් කරන්න. උදාහරණයක් ලෙස "මම කුඩා ව්‍යාපාරයක් හිමිකරුවෙක්. Facebook marketing සඳහා ආකර්ෂණීය post එකක් ලියා දෙන්න" යනාදී ලෙසයි.
ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රශ්න ඇසීම වඩාත් නිවැරදි හා විස්තරාත්මක පිළිතුරු ලබා දෙන බව මතක තබා ගන්න. සිංහල භාෂාවෙන්ද ප්‍රශ්න අසන්නට පුළුවන් නමුත් ප්‍රතිඵල භාෂාමය වශයෙන් නිවැරදි බව අඩු විය හැකියි.
AI පෞද්ගලික සහායකයකු ලෙස
Harvard University මගින් සිදු කළ පර්යේෂණයකට අනුව මෙම වසරේදී බොහෝ පිරිසක් AI භාවිත කර ඇත්තේ තමන්ගේ ජීවන සහකරුවකු ලෙසයි. තමා වටා ගොඩනැගුණු රැකියා, සමාජ ප්‍රශ්න මෙන්ම අතිශය පෞද්ගලික ගැටලු පවා විසඳා ගැනීමට තම හිතවත් මිතුරෙකු, සහෘදයෙකු, සහකරුවෙකු වශයෙන් AI තම ජීවිතයේ සමීපතම සහකරුවා බවට පත් කර ගැනීමට මිනිසුන් වැඩි වශයෙන් පෙළඹී තිබෙන බව සනාථ වී ඇත.
මේ සඳහා ඇති විශේෂතම හේතුව වන්නේ තමන් සතු අතිශය පෞද්ගලික කාරණා තම මිතුරෙකු සමග හෝ සහකරුවකු සමග බෙදා ගැනීමේදී ඒවා විවේචනයට ලක්වීමත්, රහස්‍යභාවය නොමැතිවීමට ඉඩකඩ ඇතිවීමත් වුවද මෙවැනි AI මෙවලමක් සමග තම දුක සැප බෙදා ගැනීමේදී මිතුරන් මෙන් කැමති පැත්තක් නොගෙන AI අපක්ෂපාතීව ප්‍රතිචාර ලබා දීමයි. තවද ඕනෑම වේලාවක ඕනෑම තැනක AI සමඟ සංවාදයේ යෙදිය හැකි වීම අතිශය පහසු කමකි.
නමුත් මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ AI මනෝ උපදේශකයකු නොවන බවයි. මේ නිසාම ගැඹුරු මානසික ගැටළු සඳහා වෘත්තීය උපදේශනය ලබා ගත යුතු අතර AI මත සම්පූර්ණයෙන් යැපීම නොකළ යුතු කරුණකි. මෙහි ඇති තවත් අඳුරු පැතිකඩක් වන්නේ ඇතැම් අවස්ථාවල මේ හරහා වැරදි තොරතුරු ඔබට ලැබීමට ඉඩකඩ තිබීමයි.
මෙවැනි මෙවලමක් සමග ඔබගේ අදහස් තොරතුරු මෙන්ම දුක සැප හුවමාරු කර ගැනීමේදී ඔබ සතු තර්කන හැකියාව සහ නිර්මාණශීලීත්වය ඔබෙන් බොහෝ දුරස් වීමටද අවකාශය තිබේ. එමෙන්ම ආයතනික හෝ ඉතා පෞද්ගලික තොරතුරු AI සමඟ බෙදා ගැනීමේදී ප්‍රවේශම් විය යුතුයි.
ඔබේ මිතුරෙකු මෙන් ChatGPT ඔබව විවේචනය නොකළත්, අවශ්‍ය වන්නේ විවේචනාත්මක පිළිතුරක් නම් ඒ බව ඉතාම පැහැදිලිව මෙම මෙවලම් වෙත පවසා පිළිතුරක් ලබා ගත හැකියි. උදාහරණයක් ලෙස "critically evaluate my problem" ලෙසින් සඳහන් කර ඔබේ ගැටලුව ඉදිරිපත් කළ හැක. මෙසේ තාක්ෂණය නිවැරදි ලෙස අධ්‍යයනය නොකර භාවිතා කිරීම ඔබේ ගැටලුවක් මිස එය තාක්ෂණික වරදක් ලෙස දකිමින් එයට බැණ වදිමින් සිටීම ඵලක් වන්නේ නැත.
රැකියා අවදානම සහ අවස්ථා
වර්ෂ 2022 සිට අද දක්වා ලොව පුරා ප්‍රචලිත AI තාක්ෂණය මිනිස් බුද්ධියට සමාන හෝ එය අභිභවා යන බුද්ධිමතෙක් ලෙස බොහෝ දෙනා පුරෝකථනය කර තිබේ. නව තාක්ෂණයත් සමග සිදුවන රැකියා පෙරළිය සාම්ප්‍රදායික රැකියා කෙරෙහි දැඩි අවදානමක් ඇති කරයි. ව්‍යාපාර සිදු කිරීමට, රැකියා කිරීමට, නව නිර්මාණ කිරීමට මෙන්ම අලුත් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා වන උපදෙස් සමග ප්‍රායෝගික කරුණු විමසා බැලීමට ChatGPT මෙවලම භාවිත කළ හැකියි. ලෝකයේ ඇතැම් ස්ථානවල මෙම මෙවලම් භාවිත කිරීම නිසා සාම්ප්‍රදායික ව්‍යාපාර වැසෙන තත්ත්වයට ද පත් වී තිබේ.
මේ හේතුව නිසාම AI තාක්ෂණය ප්‍රගුණ නොකල තැනැත්තා වැඩ ලෝකය තුළ යල්පැන ගිය අයෙකු බවට පත්වේ. මේ නිසාම ස්වයං අධ්‍යයනයක් ලෙස හෝ AI තාක්ෂණය හැදෑරීම නව රැකියා අවස්ථා ලබා ගැනීමටත්, ව්‍යාපාර අලුතින් ආරම්භ කරමින් ඒවා දියුණු කර ගැනීමටත්, පහත වැටී තිබෙන ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීමටත් හේතු වන බව AI විශේෂඥයන්ගේ මතයයි. තමන්ගේ ක්ෂේත්‍රය තුළ AI භාවිත කරන අය AI භාවිත නොකරන අයට වඩා ඉහළ මට්ටමට පත්වන අතර, ඉදිරියේදී AI සමග නොසිටින අය වෙනුවෙන් AI දැනුම ලැබූවෝ ආදේශ වීමට නියමිත බව මතක තබා ගත යුතුය.
විදෙස්ගත නොවී විදෙස් අධ්‍යාපනය
AI තාක්ෂණය ඔස්සේ විදෙස්ගත නොවී විදෙස් අධ්‍යාපනය ලබමින් micro-certificate ලබා ගත හැකි වෙබ්අඩවි රාශියක් තිබේ. Coursera.org ලොව ඇති ප්‍රධානතම AI, Data Science, Machine Learning වැනි පාඨමාලා රැසක් තිබේ. Deeplearning.ai, MIT (ocw.mit.edu), OpenAI Academy (academy.openai.com) , Harvard (pll.harvard.edu) වැනි වෙබ් අඩවි හරහා නොමිලේ මෙම පාඨමාලා වීඩියෝ නැරඹිය හැකි අතර, මුදල් ගෙවීමෙන් පසු ජාත්‍යන්තරව පිළිගත් සහතිකපත්‍රයක්ද ලබා ගත හැකියි.
Content Creator, Digital Marketing Specialist, AI Prompt Engineer වැනි නව යුගයේ රැකියා අවස්ථා බොහෝ විවෘත වන අතර, එවැනි දෑද මේ හරහා අධ්‍යයනය කළ හැකියි. දැනුම ලබන්නන් වෙනුවෙන් නව ලොව රැකියා අවස්ථා බොහෝ විවෘත වන අතර මෙම මාර්ගගත පාඨමාලා හරහා ඒවාට අදාළ දැනුම ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකිකයන්ටද තිබේ.
ශ්‍රී ලංකාව සහ AI - අභියෝග සහ අනාගතය
ශ්‍රී ලංකාවේ AI භාවිතය අඩු වීමට තවත් හේතු රාශියක් තිබේ. රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තවමත් සම්පූර්ණයෙන් ඩිජිටල් වී නැති නිසා AI භාවිතය තවදුරටත් ප්‍රමාද වේ. ඩිජිටල් පුහුණුවීමේ අඩුව, තාක්ෂණික යටිතල පහසුකම් හිඟය, සහ AI පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිව ඇතැමුන් ඊට එරෙහිව සිටීම මේ සියල්ල ශ්‍රී ලාංකික සමාජය AI යුගයට සූදානම් වීමට බාධාවක් වී තිබේ.
ඉංග්‍රීසි භාෂාවේ අන්තර්ජාලයේ අපරිමිත දත්ත ප්‍රමාණයක් ඇති නමුත්, සිංහල භාෂාවේ ගුණාත්මක දත්ත හා එක් එක් විෂයන්ට අදාළ දේශීය දත්ත ප්‍රමාණය ඊට සාපේක්ෂව ඉතා සුළු ප්‍රමාණයකි. මේ නිසා ChatGPT වැනි AI මෙවලම් සිංහලෙන් ලබා දෙන පිළිතුරු වල කරුණු නිවැරදි වුවත් භාෂාව සමහර විට අනුචිත වේ.
එහෙත් මෙම අභියෝග මධ්‍යයේ පවා, AI ඉගෙන භාවිතා කරන ශ්‍රී ලාංකිකයන්ට අනාගතයේ අසීමිත අවස්ථා විවෘත වේ. ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් AI මෙවලම් සමඟ කටයුතු කිරීමෙන්, ඔබටද ලෝක මට්ටමේ දැනුමට සහ රැකියා අවස්ථාවලට ප්‍රවේශ විය හැකියි.
අවසාන වශයෙන්
AI තාක්ෂණය භීතියට හේතුවක් නොව, අවස්ථාවක් ලෙස දැකිය යුතුයි. AI මෙවලමක් පමණක් වන අතර එය නිවැරදිව භාවිතා කිරීමේ වගකීම ඇත්තේ ඔබටයි. AI විසින් ඔබව ප්‍රතිස්ථාපනය නොකරයි, නමුත් AI භාවිතා කරන වෙනත් අයෙක් ඔබව ප්‍රතිස්ථාපනය කළ හැකියි. මේ නිසාම ස්වයං අධ්‍යයනයෙන් AI තාක්ෂණය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඉගෙන ගැනීම වැදගත් වේ.
AI භාවිතා කරන විට අවංකව හා වගකීමෙන් යුතුව ක්‍රියා කිරීම, සදාචාරාත්මක භාවිතය, සහ තමන්ගේ චින්තන හැකියාවද යොදා ගැනීමද ඉතා වැදගත්ය. ChatGPT හෝ Claude වෙත පිවිස නොමිලේ ගිණුමක් ආරම්භ කර සරල ප්‍රශ්නයකින් පටන් ගන්න. ඔබේ ක්ෂේත්‍රයට අදාළ ප්‍රශ්න අසන්න. ප්‍රතිඵල විශ්ලේෂණය කර වැඩිදියුණු කර ගන්න. දිනපතා භාවිතයක් කර ගන්න.
තාක්ෂණය නිවැරදි ලෙස අධ්‍යයනය නොකර භාවිතා කිරීම ගැටලුවක් මිස එය තාක්ෂණික වරදක් නොවේ. එමනිසා AI තාක්ෂණයට බැණ වදිමින් සිටීම වෙනුවට, එය හරියාකාරව ඉගෙන භාවිතා කිරීම අනාගතයේ සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍යයි. AI තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීම ඔබේ අධ්‍යාපනික, වෘත්තීය, සහ පෞද්ගලික ජීවිතයේ විශාල වෙනසක් කළ හැකි බව සැමවිටම මතක තබා ගත යුතුය.
සටහන - D.N අබේවර්ධන
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
AI නිසා රැකෙයිද? නැසෙයි ද?