විශ්වවිද්‍යාලයක් යනු රටට ඇවැසි ඥන සම්පත නිර්මාණය කරන කෙෂ්ම භූමිය වේ. අදීන බවින් පිරිපුන් නිර්මාණශීලි මෙන්ම ගුණවත් පුරවැසියන් බිහි කිරීමේ වගකීම දෙවුරට ගත් විශ්වවිද්‍යාලය එහෙයින්ම අත්‍යන්තයෙන්ම ස්වාධීන විය යුතුය. එයට අවශ්‍ය විධි විධාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතෙහි සඳහන්ව ඇත.

විශ්වවිද්‍යාලයක පරිපාලනය පීඨ මට්ටමින් ක්‍රියාත්මක වේ. තීන්දු තීරණ ගනු ලබන්නේ සනාතන සභාව මගිනි. ප්‍රධාන පරිපාලකයා උප කුලපතිවරයා වුවද ඔහුට විධායක බලතල නැත.

අධ්‍යයනාංශ ප්‍රධානීන් පීඨාධිපතිවරුන් මෙන්ම උප කුලපතිවරයා ඇතුළු සමස්තයම සුදුසුකම් සපුරා එම ධුරවලට පත් වූවෝ වෙති. එහෙයින් ඔවුහු ආදීනවත්, නිර්භයවත් තීන්දු තීරණ ගනිති. උගත්කමට ගරු කරන සමාජයක් එම තීන්දු තීරණවලට හිස නමති. 

විශ්වවිද්‍යාල වුවද තමන්ගේ පක්ෂ කාර්යාල බවට පත්විය යුතු යැයි සිතන දේශපාලනඥයෝ අතීතයෙත් සිටියහ. වර්තමානයේත් සිටිති. එක් වරක විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයා වශයෙන්  පත් කෙරුණේ එවකට රට පාලනය කළ පක්ෂයේ ආසන සංවිධායකවරයෙකි. ඔහු එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරයකු වුවද උප කුලපති ධුරය සඳහා සුදුසුකම වූයේ ආසන සංවිධායකකමය.

එක් උසස් අධ්‍යාපන ඇමතිවරයකු විශ්වවිද්‍යාලයක උප කුලපතිවරයා අමතමින් ලිපියක් ලියමින් සඳහන් කර තිබුණේ ‘‘ලිපිය රැගෙන එන  පුද්ගලයා එම විශ්වවිද්‍යාලයේ පාලක සභාවට පත් කරන’’ ලෙසය. විශ්වවිද්‍යාල පරිපාලනය එම ලිපිය කුණු කූඩයට දැමුවේය.  ප්‍රශ්නය පාර්ලිමේන්තුව දක්වා දුර දිග ගියේය. ‘‘එයා අපේ පක්ෂයේ කෙනෙක්. අපට වැඩ කරපු කෙනෙක්. ඒකයි  එහෙම ලියුමක් දුන්නේ’’. අදාළ ලිපිය නිකුත් කළ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේය. රෝගී දේශපාලනඥයන් විශ්වවිද්‍යාල පරිපාලනයට ඇඟිලි ගසන්නේ එසේය. 

අප පුවත්පත් ඊයේ පළකළ පුවතකින් කියවුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පාලක සභාව සඳහා විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මගින් එහි හිටපු සාමාජික පිරිසම නම් කර ඇතත් අධ්‍යාපන ඇමතිවරයා මැදිහත් වී එම නාම ලේඛනය අහෝසි කර ඇති බව විශ්වවිද්‍යාල ආරංචි  මාර්ග පවසන බවය.

මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ  නිර්ලජ්ජිතම දේශපාලන ඇඟිලි ගැසීම මෙය බවට විවාදයක් නැත. විශේෂයෙන්ම  විශ්වවිද්‍යාලයක පාලක සභාවක් පත් කිරීමට එරෙහිව මෙවැනි දේශපාලන ඇඟිලි ගැසීමක් සිදුකර නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ප්‍රකාශකයෙකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාලක සභාවේ අති බහුතරයක් එම විශ්වවිද්‍යාලයේ කීර්තිමත් විද්වත්හු වෙති. නමගිය උගත් බුද්ධිමත් ව්‍යාපාරිකයෝ වෙති. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ අධිපති අශෝක හෙට්ටිගොඩ, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු ව්‍යවසායකවකු වන ලාෆ් සමූහ ව්‍යාපරයේ අධිපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය, මහජන බැංකුවේ සභාපති හා ගණකාධිකාරිවරයකු වන සුජීව රාජපක්ෂ, ෆිනගල් සමූහ ව්‍යාපාරයේ අධිපති මහින්ද රණසිංහ යන මහත්වරුන්ගේ තෙවසරක නිල කාලය ඉකුත් 10 වැනිදායින් අවසන් විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමද එම නාම ලේඛනයක් පාලක සභාව සඳහා යෝජනා කර ඇති අතර අධ්‍යාපන ඇමතිවරයා හදිසියේ මැදිහත්වී එම නාම ලේඛනය අත්හිටුවා තිබේ.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ රුව ගුණ තේජස වෙසෙසින් දැක්විය යුතු නැත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය දිගත පතර කිරීම සඳහා සුවිශේෂ දායකත්වයක් සලසා ඇති මහාචාර්ය සුනිල් ආරියරත්න මෙරට පුරා වෘත්තයක් බඳුය. අධ්‍යාපන කේෂ්ත්‍රයේ පමණක් නොව සාහිත්‍ය විචාර කලාවේත්, චිත්‍රපට, ගී නිර්මාණ හා කාව්‍යකරණයේ සුවිශේෂ දක්ෂතා ප්‍රකට කර ඇති මහාචාර්ය සුනිල්  ආරියරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙන්ම රුහුණු විශ්වවිද්‍යාල ගීතය ද රචනා කළේය. 

විශ්වවිද්‍යාලයීය ප්‍රකාශකයකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මහාචාර්ය සුනිල්  ආරියරත්න මහතා තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 25ක් පමණ වැයකර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ එක් ප්‍රතිමාවක් විශ්වවිද්‍යාල භූමියේ ඉදිකළ බවය.

පාලක සභාවේ සෙසු සාමාජිකයෝ ද රටේ පිළිගත් සම්භාවනීය පුරවැසියෝ වෙති.එබඳු පාලක සභාවක් පත් නොකර අධ්‍යාපන ඇමැතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයේදී  ගෙන් ගෙට ගිය පෝස්ටර් ගැසු හෙන්චයියලා එක් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි අපි නොදනිමු. මෙම ක්‍රියාවට උගත් බුද්ධිමත් සමාජය නිහඬ නොවිය යුතු බව අපි අවධාරණය කරමු.

(***)