අනුරාධා නිල්මිණී කිවිඳිය විසින් මීට පෙර ලියා පළ කරන ලද යුග ‘ස්ත්‍රී’, ‘වත්සියපත්’, ‘මදහසක මැදියම’, ‘රිදුම් පිරි පිරිමැදුම්’ වැනි කාව්‍ය සංග්‍රහ පාඨක විචාරක අවධානයට ලක්වූ බව පෙනේ. ඇගේ ‘ඉර්තු’ නම් කාව්‍ය සංග්‍රහය ද නොබෝ දිනකින් එළිදකිනු ඇත.

‘ලාලි කෙළිය’, ‘සවරංපාලිය’, ‘පංචස්ථම්භ’ ඇගේ නවකතා අතර කැපී පෙනේ. ළමා කෘති කිහිපයක් ද රචනා කොට ඇති කිවිඳිය පුවත්පත් කලාවේදිනියක් ලෙස ද පාඨක ලෝකයේ ජනප්‍රියය.

• රාජ්‍ය සාහිත්‍ය සම්මාන ඉතිහාසය අරගෙන බැලුවොත් කවිය වෙනුවෙන් රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලබා ඇති කිවිඳියන් සිටින්නේ කිහිපදෙනයි. යමුනා මාලිනී පෙරේරා, මොනිකා රුවන්පතිරණ, සුහර්ෂණී ධර්මරත්න අතරට ඔබත් දැන් එකතු වෙනවා.රාජ්‍ය සම්මානලාභී කිවිඳියන් මතු වීම මේ තරම් ප්‍රමාද වන්නේ ඇයි?

“රාජ්‍ය සම්මාන ඉතිහාසයේ කවිය වෙනුවෙන් සම්මාන ලද හතරවැනි කිවිඳිය මා බව දැනගත්තේ සම්මානය ලැබුණාට පසුව බොහෝ දෙනා ලියා තැබූ සටහන්වලින්. කවිය පමණක් නොව සමස්ත සාහිත්‍ය ක්ෂේත්‍රයම අරගෙන බැලුවත් අපේ රටේ කාන්තාවගේ භූමිකාව දායකත්වය දක්නට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. ඇතැම් අය නිර්මාණ රචනයේ යෙදුණත් ඒ තුළ අඛණ්ඩව රැඳී සිටින බවක් පෙනෙන්නට නැහැ.

කවිය ගත්තොත් ස්ත්‍රිය පුරුෂයන් තරමට නිර්මාණාවේෂය තුළ නිරාවරණය වනවා ද ඒ සඳහා ඔවුන් සූදානම් ද කියන එක ගැන ගැටලු තියෙනවා. කවිය සම්බන්ධ අඛණ්ඩ අධ්‍යයනයන්ට හා හැදෑරීම්වලට මොවුන්ට ඇති උනන්දුව හා ඉඩකඩ පිළිබඳ ගැටලු මේ සඳහා බලපානවා වෙන්න පුළුවන්.”

• අපේ රටේ ඇතැම් සංස්කෘතික කාරණා ආදියත් මේ සඳහා බලපානවා ද?

“සංස්කෘතික කාරණාත් බලපාන්න පුළුවන්. විශේෂයෙන් දකුණු ආසියානු රටවල මේ තත්ත්වය වැඩි වශයෙන් දකින්න හැකියි. රටක් හැටියට චින්තනමය වශයෙන් හා සමාජීය වශයෙන් අපි තවමත් දිළිඳු මට්ටමක සිටින බව පෙනෙන්නට තිබෙනවා. කලාපීය අනෙක් රටවලට අපි සමීපයි වගේ පෙනෙන්නේ භෞතික සංවර්ධනය ගැන කතා කරනවිට පමණයි. ඒත් චින්තනමය වශයෙන් අපි තවමත් දිළිඳුයි. සාහිත්‍යකරණයේදී ප්‍රබල වශයෙන් මේ තත්ත්වය බලපානවා.

මේ කාරණය නිසාම වෙන්න ඇති සංස්කෘතිකමය වශයෙන් ඇතැම් සිරගත වීම්වලින් පිටතට පනින්න අපේ ලේඛිකාවන්ට කිවිඳියන්ට හැකියාවක් නැත්තේ. කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් එවැනි සීමා අතික්‍රමණය කරමින් නිර්මාණ රචනයේ යෙදෙනවා දකින්න පුළුවන්. සුරේඛා සමරසේන වැනි කිවිඳියක් මට මේ වෙලාවේ මතකයට එනවා.”

• මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ‘නාරි සූත්‍රය’ කාව්‍ය සංග්‍රහය විචාරයට විමර්ශනයට ලක් කිරීම විචාරකයන්ට බාර කටයුත්තක් වුවත්, මේ කවිවලට උත්තේජන සැපැයූ අත්දැකීම් ගැන යමක් දැනගන්න කැමැතියි?

“මේ කෘතියේ සමස්තය තුළ කතා කරන්නේ ස්ත්‍රී චරිත දහසයක් ගැන. ලෝක දේශපාලනය, සමාජය, සම්ප්‍රදාය, ආගමික කාරණා ආදිය ඇතුළේ මතුවන ගැටලු සහ නොයෙකුත් තත්ත්වයන් නිරීක්‍ෂණයෙන් ලද අත්දැකීම් තමයි මේ කවි සඳහා උත්තේජන සපයන්නේ. ඇත්තටම මට අවශ්‍ය වුණේ කිසියම් වෙනස් ආකාරයකට මේ ගැන සමාජ අවධානය යොමු කිරීමටයි.”

• ‘නාරි සූත්‍රය’ කාව්‍ය සංග්‍රහය ඇතැම් විචාරකයන් ස්ත්‍රීවාදී දෘෂ්ටියකින් බලන්නට උත්සාහ ගෙන තිබුණු බව පෙනුණා. ඒත් ඔබ මෙහි ලෝකයේ පුරුෂ දේශපාලනය ගැඹුරින් සාකච්ඡාවට ගන්නා බව පෙනෙනවා?

“මේ කවි පොත ලියන්න වාඩි වෙනකොටම ඇති වුණ අදහස තමයි මට මේ වෙනුවෙන් ස්ත්‍රීවාදී ලේබලය වදින බව. මීට කලිනුත් මගේ යම් යම් කෘති සම්බන්ධයෙන් ඔය විවේචනය ලැබිලා තිබුණා. මේක සාමාන්‍ය පාඨකයන්ට වඩා විචාරකයන්ගෙන් එල්ල වුණ චෝදනාවක්.

ඒත් මේ කාව්‍යය ස්ත්‍රී චරිතවල අභ්‍යන්තරය විනිවිදිමින් යෝජනා කරන්නේ වේදිකාවක් නිර්මාණය කරන්නේ වෙනත් කාරණයක් සඳහායි. මේ තමයි ඔබ ඔය කියන පුරුෂ දේශපාලනය. එහෙම නැතුව ‘නාරි සූත්‍රය’ කිසිම විදිහකින් ස්ත්‍රීවාදී දෘෂ්ටියක් හිතේ තබාගෙන ලියූ කෘතියක් නොවෙයි.

දියුණුයි කියන රටවල වුණත් ස්ත්‍රියට අවස්ථා හෝ සම අයිතීන් වගේ දෙවල් ලැබෙන්නේ ටිකක් කල් ගත වුණාට පස්සේ. මම මේ නිර්මාණ හරහා යෝජනා කරන්නට උත්සාහ ගත්තෙ දුර්වලයි කියලා මතයක් නිර්මාණය වී තිබෙන ස්ත්‍රී සිරුරු විනිවිදිමින් පුරුෂ දේශපාලනයට අවතීරණ වෙන්න කියන එකයි.”

• මේ ආඛ්‍යාන කාව්‍යයෙහි එන චරිත දහසය ‘මහා රූස්ස ගස් යට වැඩුණු මිටි පඳුරු’ බව ඔබ පුවත්පතකට කියා තිබුණා. ඇයි ඔබ එවැනි හැඳින්වීමක් මේ චරිතවලට දෙන්නේ?

“රූස්ස ගස් ගැන අපි හැමෝම කතා කළාට අවධානය යොමු කළාට ඒ ගස් මුල පිහිටි මිටි පඳුරු ගැන අපි කතා කරන්නේ නෑ. මහත්මා ගාන්ධි, හිට්ලර්, රෝහණ විජේවීර ඇතුළු බොහෝ චරිත ගැන කතා කළාට ඔවුන්ගේ බිරින්දෑවරුන් ගැන අපි කතා කරනවා ද? ඒ බිරින්දෑවරුන් මේ කියන චරිත පිටිපස්සේ ඉඳගෙන මොන තරම් කැප කිරීමක් කරන්න ඇති ද? අනික් පැත්තෙන් ඔවුන් මොන තරම් පීඩා විඳින්න ඇති ද? මේක පුද්ගල කියැවීමකට වඩා දේශපාලන කියැවීමක් හැටියට මතු කරන්නයි මේ කාව්‍යයේදී අවශ්‍ය වුණේ. මේ මිටි පඳුරු කියන සංකල්පය ඇතුළෙන්ම මතු වෙන්නේ ඒ යෝජනාව.”

• භාෂාත්මක, ආකෘතිකමය සහ තේමාත්මක වශයෙන් දක්නට ලැබෙන අත්හදා බැලීම් නාරි සූත්‍රය කාව්‍යයේ කැපී පෙනෙන ලක්‍ෂණයක්. වඩාත් සීරු මාරුවෙන් කළ යුතු මෙවැනි අත්හදා බැලීම් නූතන කවියට අවශ්‍ය වන්නේ ඇයි?

“මේක ආඛ්‍යාන කාව්‍යයක් හැටියටයි ගොඩනැගෙන්නේ. ඒත් ආඛ්‍යාන කාව්‍යවල ආකෘතිය එකම විදිහේ සාම්ප්‍රදායික තැනක පැවැතුණ බව පෙනුණා. අදටත් මහගමසේකර, මොනිකා රුවන්පතිරණ වගේ ප්‍රතිභාපූර්ණ කවි කිවිඳියන් මතු කළ ආඛ්‍යාන කාව්‍යවල ආකෘතික හැඩය වෙනස් වෙලා නෑ.

ඒ නිසා මට අවශ්‍ය වුණා මේ කියන හැඩයෙන් පිටස්තරව අලුත් යමක් අත්හදා බලන්න. ඒකෙ සාර්ථක ආසර්ථක බව විනිශ්චය කිරීම විචාරකයන්ට බාර කටයුත්තක්. මම හිතන්නෙ නූතන කවියේ වර්ධනයට එබඳු අභ්‍යාස අත්හදා බැලීම් අත්‍යවශ්‍යයි. ඒත් බොහෝ දෙනකුට ‘නාරි සූත්‍රය’ කාව්‍යයේ අත්හදා බැලීම් ස්පර්ශ වෙලා තිබුණ බවක් පෙනුණේ නැහැ.”

• නූතනම කවියේ නව ප්‍රවණතා රැසක් අපි දකිමින් සිටිනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අප සමග පුවත්පත් සාකච්ඡාවකදී කියා සිටියේ, ඉදිරියේදී කොළඹ කවියේ නව යුගයක් නම් කිරීමට මේ නව ප්‍රවණතා හේතුවනු ඇති බවයි. එත් කවියේ මේ කියන වර්ධනයට සමගාමීව කාව්‍ය විචාරය පෝෂණය වී තිබෙනවා යැයි ඔබ සිතනවා ද?

“මාහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මා පෙන්වා දෙන කරුණ ඉතාම වැදගත්. එහෙම වුණොත් මෑතම කාලයේ අපි දැකපු නව අත්හදා බැලීම් සහිත කවිය වෙනම යුගයක් හැටියට අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙයි. ඇත්තටම එය අපේ කවියේ වැදගත් වර්ධනීය අවස්ථාවක්.

නව කවිය ගැන ආධුනිකයන්ගේ නිර්මාණ ගැන නිතර නිතර කතා කරන විචාරකයන් කිහිප දෙනෙක් හෝ සිටීම අපට සතුටක්. ඔවුන් ඇත්තටම නව කවිය වෙනුවෙන් බරපතළ මැදිහත් වීමක යෙදෙනවා. මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධදාස ගලප්පත්ති, චූලානන්ද සමරනායක වැනි ප්‍රවීණයන් ඒ අතර කිහිප දෙනෙක් පමණයි. 

හැබැයි ඉන් බැහැරව බොහෝ අප දකින විචාර දැඩි විවේචන සහිතව හමුවන අවස්ථා තිබෙනවා. ඒවා පොදුවේ රසවිඳුම් හැටියටයි අපට සලක්න පුළුවන්. කාව්‍ය විචාරය කියන්නේ හොඳින් හදාරමින් කළ යුතු බරපතළ වැඩක්. බරපතළ විවේචනයක් වුවත් නිර්මාණාත්මක රචකයකුට සාධනීය මැදිහත් වීමක් කෙරෙනවා නම් පමණයි එහි වටිනාකමක් තිබෙන්නේ.

කොහොම වුණත් විචාරකයා මොනවා කියයි ද ඔහුගේ මතය කුමක් ද ඔහු හොඳ කියයි ද නරක කියයි ද ආදිය සිතමින් නිර්මාණයක් කරන්න බෑ. පොතක් ලිවීමේදී මම නම් ඒ ගැන තැකීමක් කරන්නේම නෑ. නිර්මාණකරුවා නිර්මාණයේදී හිතුවක්කාරයි. විචාරක මත කරපින්නාගෙන ලියන්න ගත්තොත් කවි ලියන්න බෑ. ඒත් නිර්මාණයක හොඳ නරක කතා කරන එක විචාරකයන්ගේ අයිතියක්. ඒක සාහිත්‍යයේ දියුණුවටත් අවශ්‍ය කාරණයක්. ඔවුන්ගේ මත ගැන සිතමින් තැවෙමින් කම්පා වෙමින් හිටියොත් නිර්මාණ කරන්න බෑ.”


ප්‍රවීන ලේඛිකා අනුරාධා නිල්මිණි

සංවාද සටහන - ගාමිණි කන්දෙපොල