(අංජුල මහික වීරරත්න)

විදුලිබල ක්ෂේත්‍රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 

මෙරට බලශක්ති ස්වාධිපත්‍යය වෙනුවෙන් රජය නිරතුරුවම පෙනී සිටින බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට අද (22) ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.

විදුලිබල ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ සඳහා පත් කරන ලද කමිටු සාමාජිකයන් සහ විදුලිබල ජනන ලංකා සමාගම, ජාතික සම්ප්‍රේෂණ ජාල සැපයුම් සමාගම, විදුලිබල බෙදාහැරීම් ලංකා සමාගම, ජාතික පද්ධති මෙහෙයුම් සමාගම ඇතුළු අලුතින් ස්ථාපිත කරන ලද සමාගම්හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 

මෙරට ආර්ථික වර්ධනය, ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය වෙනුවෙන් බලශක්ති ස්වාධිපත්‍යය තහවුරු කිරීම රජයේ ස්ථාවරත්වය බවත්, රජයට අවශ්‍ය වන්නේ විදුලිබල ක්ෂේත්‍රයේ ආයතන ව්‍යුහයේ පවතින වියවුල්භාවය නිරාකරණය කර ගනිමින් විධිමත් ආයතන පද්ධතියක් ගොඩනැගීම බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. 

විදුලිබල ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් නව පරිවර්තනයක් වෙනුවෙන් නව ආයතන පද්ධතියක් අත්‍යවශ්‍ය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා පැරණි ව්‍යුහය තවදුරටත් ප්‍රමාණවත් නොවන අතර නව ව්‍යුහයක අවශ්‍යතාව කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් පෙන්වා දුන්නේය.